වාරියපොළ තරුණියගෙන් ජනමාධ්‍යවලට චෝදනාවක්

Image copyright YOUTUBE

වාරියපොළ බස් නැවතුම්පලේදී තරුණියකගෙන් පහර කෑ තරුණයාට අධිකරණයෙන් මාස හයක බරපතළ වැඩ සහිත සිර සිරදඬුවමක් නියම කෙරිණ.

චන්ද්‍ර කුමාර හෙවත් සෙල්වා නමැති තරුණයකු තරුණියකගේ පහර කෑමට ලක් වන ආකාරය දැක්වෙන වීඩියෝ පටය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි කතාබහට ලක් විය.

ඒ සමග පොලිසියෙන් මෙන්ම ඇතැම් මාධ්‍ය ආයතනවලින්ද තමන්ට දැඩි අසාධාරණයක් සිදු වූ බවයි සිදුවීමට මුහුණ දුන් තිළිණි අමල්කා කියා සිටියේ.

තමාට මානසික රෝගයක් ඇතැයි මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ බවත් ඇය සඳහන් කළාය.

"මගේ ඡායාරූපය මම මාධ්‍යවල පෙන්නනවාට කැමැත්තක් දැක්වුයේ නැහැ. මම අධිකරණ වෛද්‍ය නිලධාරීන් ගාවට යද්දිත් රෝහල් බිමටත් අනවසරයෙන් මාධ්‍ය කැමරා ඇවිල්ල තිබ්බා," ඇය කියා සිටියේ කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින්.

"ගොඩක් මගේ මුහුණ වහගෙන යන්න උත්සහ කළා. හැබැයි වැසිකිළියට යන්න හදද්දීත් එතනත් කැමරාවක් දාගෙන හිටියා මගේ ඡායාරූපය ගන්න."

'අහන් ඉන්න බෑ'

සිදුවීම පිළිබඳ අදහස් දැක්වූ ඇය වැඩිදුරටත් කියා සිටියේ අදාළ තරුණයා නොනවත්වා තමාට සහ තමාගේ යෙහෙළියට "අහන් ඉන්න බැරි විදිහේ" වචන ප්‍රකාශ කරමින් අඩන්තේට්ටම් සිදු කළ හෙයින් ඔහුට පහර දීමට සිදු වූ බවයි.

මේ සම්බන්ධයෙන් තිලිණි ඉමල්කාට නීතිමය සහාය ලබා දීම සඳහා රයිට්ස් නව් ආයතනයේ සමබිම සංහිඳ පැමිණිළි මධ්‍යස්ථානය ඉදිරිපත් වී තිබේ.

කාන්තා හිංසනය පිටු දකිමින් නීතියේ සමාන ආරක්ෂාව සියලු දෙනාට ලැබිය යුතුය යන මූලධර්මය මත හිඳ ඒ සඳහා මැදිහත් වූ බවයි එම ආයතනයේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන කියා සිටියේ.

මෙම සිදුවීම හරහා වින්දිතයා චූදිතයෙකු කිරීමට ඇතැම් පාර්ශව විසින් ගනු ලැබූ උත්සාහයන්ට හා කාන්තා හිංසනය සමාජ ගත කිරීමට උත්සාහ කළ සියළු පාර්ශවයන්ටත් අධිකරණ තීන්දුවෙන් නිසි පිළිතුරු ලැබී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

සිදුවීම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග මෙම ප්‍රහාරය සීමාව ඉක්මවා සිදු කළ පහරදීමක් ලෙස ලඝු කරනු ලැබූ පොලිසිය පළමුව අදාළ තරුණිය අත්අඩංගුවට ගත් අතර පසුව සෙල්වා නමැති චුදිතයා අත්අඩංගුවට ගනු ලැබිණ.