චතුරුකොන්ඩාන් ඝාතනයේ විසිපස් වෙනි සංවත්සරය

Image copyright bb

නැගෙනහිර පළාතේ මඩකලපුව චතුරුකොන්ඩාන්හි කාන්තාවන්,දරුවන්,වෘද්ධ පුද්ගලයන් ඇතුළු ඇතුළු 184 දෙනෙකු ඝාතනය කරනු ලැබීමේ විසිපස් වෙනි අනුස්මරණ සංවත්සරය අදට (09) යෙදී ඇත.

එම ඝාතන වලට වසර 25 ක් ගත වී ඇතත් තවමත් තමන් අපේක්ෂා කල යුක්තිය ලැබී නැතැයි චතුරුකොන්ඩාන් ගම් වැසියෝ කණගාටුව පළ කරති.

මඩකලපුවේ චතුරුකොන්ඩාන් ,පිල්ලයාරධි,කොක්‌කුවිල්,පන්නිච්ච්යාඩි යන ගම් හතරක වැසියන් 184 දෙනෙකු Boys Town හමුදා කඳවුරු භූමිය තුලදී ඝාතනය කර ඇත යන්න ගම් වැසියන්ගේ විශ්වාසයයි.

මරණ සහතික පමණයි

එම ඝාතනවලට ගොදුරුවූවන් සඳහා වන්දි හා මරණ සහතික ලැබුණත් තමන් වෙනුවෙන් යුක්තිය ඉටු නොවූ බවයි ජනතාව පෙන්වා දෙන්නේ.

1990 දී එවකට රජය හා LTTE ය අතර ක්‍රියාත්මක වුණ සටන් විරාමය බිඳ වැටීමත් සමඟ හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබුණ දහසකට අධික දමිළ ජනයා අතුරුදහන් වූ බව මානව හිමිකම් සංවිධානවල ප්‍රකාශ කර ඇත.

එම කාලයේ නිතර සිදු වුණ හමුදා මෙහෙයුම් හේතුවෙන් දෙමළ ජනයා වාසය කළ ප්‍රදේශවල ගම්වාසීන් තම නිවාස වලින් පිට වී ,ආරක්ෂාව උදෙසා පොදු ස්ථානවල රැකවරණය ලබා සිටියහ.

ආණ්ඩු වෙනස් වුනත්

එවැනි පුද්ගලයන් 1990 සැප්තැම්බර් මස 09 වැනි දා, සවස 5 - 6 අතර හමුදාවේ ඉහල නිලධරයෙකුට ඔවුන් විමර්ශනය කිරීමට අවශ්‍ය බව පවසා කැඳවා ගෙන ගොස් පසුව ඝාතනය කොට ඇති බවයි චතුරුකොන්ඩාන් ගම් වැසියෙකු වන කන්දයියා සිවකොලුන්දු ප්‍රකාශ කළේ.

ඒ සම්බන්ධයෙන් විමර්ශනය කල ජනාධිපති කොමිසම හමුවේ සාක්කි දුන්නත් තවම යුක්තිය ඉටු වී නැති බවත් කන්දයියා සිවකොලුන්දු පවසයි.

තම පවුලේ 18 දෙනෙකු අහිමිවුන බව පවසන සෙල්ලදුරේ නල්ලතම්බි ආණ්ඩුව වෙනස් වුවද තමන්ට යුක්තිය ලැබී නැති බව කියා සිටියි.