මරණයේ අඳුරු එළිපත්තේ සිට ජීවිතයේ ආලෝකයට ...

දිවි නසා ගැනීම් (ජනගහණයෙන් ලක්ෂයකට)

31

ලිතුවේනියාව

  • 28.1 දකුණු කොරියාව

  • 21.4 ජපානය

  • 21.3 ශ්‍රී ලංකාව

  • 20.8 ලත්වියාව

මීට දශක දෙකකට ඉහතදී ලොව දිවි නසා ගැනීම් වැඩිම රටක් ලෙසින් සැලකුණ ශ්‍රී ලංකාව දැන් එය බොහෝ දුරට අඩු කර ගැනීමට සමත් වී තිබේ.

යුද්ධයේ නිමාව සහ මානසික උපදේශන සේවා ව්‍යාප්ත වීම එයට එක් හේතුවක් බව ඇතැමුන් පවසද්දී, පවතින තත්වය තවමත් යහපත් නැති බව වෛද්‍ය විශේෂඥයන්ගේ මතයයි.

දිවි නසා ගැනීම් සම්බන්ධයෙන් ලොව පුරා පවතින තත්වය විමසා බලමු.

ලොව පුරාම දස ලක්ෂයකට ආසන්න පිරිසක් සෑම වසරකම සිය දිවි හානි කරගන්නා බව විශ්වාස කෙරේ.

ඒ අනුව සෑම තත්පර හතලිහකටම වරක් ලොව කොතැනක හෝ සිටින පුද්ගලයකු දිවි තොර කරගන්නා බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ.

Image caption දශක ගණනාවක සිවිල් යුද්ධය ශ්‍රී ලංකාවේ දිවි නසා ගැනීම් ඉහල යාමට එක් හේතුවක් - 'ඒත් සිංහල සහ දෙමළ ජනතාව අතර ප්‍රබල වෙනසක් නෑ'

මේ දත්ත සලකා බලන විට ඉදිරි වසර හය ඇතුලත වසරකට දිවි තොර කරගන්නා පිරිස ලක්ෂ 15 ක් දක්වා ඉහල යා හැකියි.

පැහැදිලි ලෙසම මෙය ඉතා බරපතල, භයානක ප්‍රවණතාවයක්.

මානසික සෞඛ්‍ය ගැටලු සහ අතවරවලට ලක්වීම කිසිවකු සිය දිවි නසා ගැනීමට පෙළඹීමේ ප්‍රධානම හේතු ලෙසයි සැලකෙන්නේ.

ශ්‍රී ලංකාව

ශ්‍රී ලංකාවේ සිය දිවි නසා ගැනීම් සලකා බැලීමේදී ගතව ගිය දශකය ඇතුලත එහි ප්‍රබල අඩුවීමක් දක්නට ලැබෙන බව නොරහසක්.

1996 දී ජනගහණයෙන් ලක්ෂයකට පනස් දෙනකු දිවි හානි කරගන්නා රටක් බවට පත්ව තිබුණු ශ්‍රී ලංකාවේ මේ වන විට එය ලක්ෂයකට 25 කට ආසන්න ප්‍රමාණයක් දක්වා අඩු වී තිබේ.

එහෙත් මෙය කිසිසේත්ම සෑහීමකට පත්විය හැකි තත්වයක් නොවන බවයි වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

කිසිවකු සිය දිවි නසා ගැනීමට උත්සාහ කරන්නේ නම්:

  • ඔහු/ ඇය ගැන හදිසි නිගමණයකට එළැඹීමට උත්සාහ නොකරන්න
  • ඔහු/ ඇය සමඟ කථා කරන්න: සංවාදයකට මුල පුරන්න
  • මානසික ප්‍රතිකාර ලබාගැනීමට උපදෙස් දෙන්න
  • ඔබට උපකාර කළ හැක්කේ කෙසේදැයි විමසන්න
  • බාහිර උපකාර ලැබෙන තුරු ඔවුන් සමඟ රැඳී සිටින්න

    ශ්‍රී ලංකාවේ දිවි නසා ගැනීම් (ජනගහණයෙන් ලක්ෂයකට)

    1996 - 48.2

    • 2012 - 28.8

    • 2015 - 21.3

"ලංකාවේ තවමත් මානසික සෞඛ්‍ය සේවාවන් හොඳම තත්වයක නෑ," මානසික සෞඛ්‍යය පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයන් මෙන්ඩිස් බීබීසී සංදේශයට පැවසීය.

1996 දීට වඩා වෙනසක් තිබෙන නමුත් මානසික සෞඛ්‍ය සේවාවන් තවදුරටත් ප්‍රචලිත විය යුතු බවයි, වෛද්‍යවරයා අවධාරණය කරන්නේ.

"උදාහරණයක් විදියට අවුරුදු දහයකට කලින් ලංකාවේ මනෝ වෛද්‍ය විශේෂඥවරුන් හිටියේ දහ දෙනයි. අද 80 ක් විතර ඉන්නවා."

මානසික සෞඛ්‍ය සහ අතවර හෝ වදබන්ධනවලට ලක්වීම හැරුණු විට දිළිඳු බව, යුද ගැටුම් සහ හදිසි ආර්ථික දුෂ්කරතා වැනි වෙනත් කරුණු කෙරෙහිද දැන් අවධානය පළවෙමින් පවතී.

විශේෂයෙන්ම දශක ගණනාවක් ශ්‍රී ලංකාව පෙලූ සිවිල් යුද්ධයත් සිය දිවි නසා ගැනීම ඉහල යාමට ප්‍රබල සාධකයක් වූ බව නොරහසක්.

ඒ සාධකය සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකි නමුත් එය ප්‍රධානම සාධකය නොවන බවයි, වෛද්‍ය ජයන් මෙන්ඩිස් පෙන්වා දෙන්නේ.

"ඒත් සිංහල සහ දෙමළ ජනතාව අතර ප්‍රබල වෙනසක් නෑ."

බොහෝ ජනමාධ්‍ය දිවි නසා ගැනීම් අනවශ්‍ය ලෙසින් හුවා දක්වමින් වගකීම් විරහිත ආකාරයෙන් එවැනි සිදුවීම් අනවශ්‍ය ප්‍රමාණයට හුවා දක්වමින් වාර්තා කිරීම එක් ප්‍රධාන ගැටලුවක්.

කෙසේ නමුත් පීඩනයකට මුහුණ දෙන පුද්ගලයකුට අවශ්‍ය සේවාවන් නොමැතිවීම ප්‍රධානම ගැටලුව බව වෛද්‍ය විශේෂඥයන්ගේ මතයයි.

"ඒ වගේම මානසික සෞඛ්‍යය ගැන සමාජයේ අවධානය ඉතාමත්ම අඩුයි," ඒ යළිත් වෛද්‍ය ජයන් මෙන්ඩිස්.

Image caption 'අනෙක් රටවල් එක්ක සලකා බලද්දී ලංකාවේ පවතින සේවාවන් සහ ජනතා අවධානය ගැන කිසිසේත්ම සැහීමකට පත්වෙන්න බෑ'

"අනෙක් රටවල් එක්ක සලකා බලද්දී ලංකාවේ පවතින සේවාවන් සහ ජනතා අවධානය ගැන කිසිසේත්ම සැහීමකට පත්වෙන්න බෑ."

අනෙක් අතට ඉතාමත්ම දිළිඳු ඇතැම් රටවල දිවි නසා ගැනීම් බොහෝ පහල මට්ටමක පවතිද්දී, ලොව ඇතැම් ධනවත් රටවල සිය දිවි නසා ගැනීම් අසාමාන්‍ය ලෙසින් ඉහල මට්ටමක පවතින්නේ මන්දැයි පැහැදිලි කිරීම ඉතා අසීරු කරුණක් බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර