'ලුම්බිණි වන්දනාව ඉක්මණින් යථා තත්වයට'

Image copyright AFP
Image caption නේපාලයේ විරෝධතා.

නේපාලයේ උද්ගත වී ඇති දේශපාලන අර්බුදය තවත් දින දෙකක් තුනක් ඇතුළත නිරාකරණය වී රටට සාමය උදා වීමෙන් විදේශීය බෞද්ධ වන්දනාකරුවන්ට කරදරයකින් තොරව ලුම්බිණිය වැඳ පුදා ගැනීමට පැමිණිය හැකි වාතාවරණයක් උදා විය හැකි බව ලුම්බිණී මහාබෝධි විහාරාධිපති හකුරුගම්මන සද්ධාතිස්ස හිමියෝ පවසති.

උන්වහන්සේ එම අදහස් පළ කළේ බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී.

පසුගියදා නේපාල භූමියේ ඇති වූ නොසංසුන්භාවය රටේ අභ්‍යන්තර දේශපාලන ප්‍රශ්නයක් යයි සඳහන් කළ හකුරුගම්මන සද්ධාතිස්ස හිමියෝ, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ෆෙඩරල් ක්‍රමයක් යෝජනා කිරීම තුලින් මතු වූ තත්වයක් බවයි සඳහන් කළේ.

Image copyright none

උද්ගත වූ සංසුන්භාවය අවි ගැටුමක් නොව එය මහජන උද්ඝෝෂණයක් සහ විරෝධතා ව්‍යාපාරයක් හැටියට හඳුන්වා දුන් හකුරුගම්මන සද්ධාතිස්ස හිමියෝ වෙළෙඳසැල් වසා දැමීම් මහාමාර්ග හරස් කොට රථ වාහන ආදියට අවහිර කිරීම් ආදිය වාර්තා වූ බවත් සඳහන් කළහ.

පාර හරස් කිරීමක්

එම වාතාවරණය ශ්‍රී ලාංකික බෞද්ධ වන්දනාකරුවන්ටත් බලපෑ ආකාරය පිළිබඳව විමසීමක් කළ විට ඊට පිළිතුරු දුන් සද්ධාතිස්ස හිමියෝ,පසුගිය මාසය පුරා ඔවුන් කිසිදු ගැටලුවකින් තොරව වන්දනා කටයුතුවල නිරත වූ බවත් එහෙත් පෙරේදා (සැප්තැම්බර් 10) ශ්‍රී ලංකා වන්දනාකරුවන් කණ්ඩායමකට ලුම්බිණිය වැඳ පුදා ගනු ලැබීමෙන් අනතුරුව ඔවුන්ට ආපසු ඉන්දීය දේශ සීමාව කරා යාමට නොහැකි වූ බවයි ප්‍රකාශ කළේ.

ඊට හේතු වුනේ ගස් කපා පාර හරහා දමමින් දියත් කෙරුණ විරෝධතා ව්‍යාපාරයක් බවත් හකුරුගම්මන හිමියෝ පවසති.

Image copyright Ira Block National Geographic
Image caption බුදුන් උපන් බිම වඳින භික්ෂූන් පිරිසක්

නේපාල පොලිසිය පැය කීපයක් ඇතුළත පාර යළි යථා තත්වයට පත් කළ අතර වන්දනාකරුවන් නිරුපද්‍රිතව ඉන්දියාව බලා ගිය බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.

ඊළඟ දින දෙකේත් (11 සහ 12) පාර හරස් කෙරුණ හෙයින් වන්දනාකරුවන්ට ලුම්බිණියට ඒමට නොහැකි වූ බව කියා සිටි ඒ හිමියෝ නේපාල ආණ්ඩුව ඉක්මනින් තත්වය නිරාකරණය කොට වන්දනාකරුවන්ගේ ගමන් බිමන් යාමට සුදුසු පරිසරයක් උදා කරනු ඇති බවට විශ්වාසය පළ කළහ.

නේපාලයේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයා පසුගියදා ප්‍රකාශයක් කරමින් නැවත දැනුම් දෙන තුරු ලුම්බිණි වන්දනාවට පැමිණීමෙන් වලකින ලෙස දැනුම් දීමක් කර තිබුණි.