අලි යාචකයින් බවට පත් වූයේ ඇයි?

Image copyright Getty

මින්නේරියේදී වල් අලියකු විසින් පහරදී මාධ්‍යවේදියකු මරා දැමීමත් සමගම අලියා සහ මිනිසා අතර සම්බන්ධතාවය මෙන්ම අලි, මිනිස් ගැටුම කෙරෙහිත් යළිත් වරක් අවධානය පළ වී තිබේ.

ඇත්තෙන්ම ශ්‍රී ලාංකීය ජනතාව සහ අලි ඇතුන් අතර සබැඳියාවේ ඉතිහාසය භාරත දේශය දක්වා දිව යන්නක්.

සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ ජීවිතය හා සබැඳි අලි ඇතුන් පිළිබඳව අපි අසා ඇත්තෙමු. බුදුන් වහන්සේ දෙසූ බොහෝ ජාතක කතා වලද අලි ඇතුන් පිළිබඳව සඳහන් වේ.

දුටුගැමුණු රජු සහ ඔහු උපන් දවසේම ඉපදුණු බවට පැවසෙන කඩොල් ඇතු අතර තිබී ඇත්තේද අපූරු සුසංයෝගයක්.

එදා සංග්‍රාම භූමියේදී දුටුගැමුණුට කණ්ඩුල යම්සේද ඔහුගේ පස මිතුරු එළාර රජුට පර්වත නමැති ඇතෙකු සිටි බවත් සඳහන් වේ.

පසුකාලීනව අරාබි, පෘතුග්‍රීසි සහ ඕලන්ද වෙළඳුන් ලංකා දූපතේ අලි ඇතුන් වෙළඳ භාණ්ඩයක් බවට පත් කොට ගෙන තිබූ බව ලිඛිත වාර්තාවල සඳහන් වේ.

රාජාණ්ඩු සමය

මහනුවර යුගයේ මෙරට සිරකරුවකුව සිටි රොබර්ට් නොක්ස්ගේ මතක සටහන්වල පවා මහනුවර රජවාසල සතු ඇත් පන්තියත්, වන අලින් මායමෙන් වසඟයට ගෙන මැද මහනුවරට ගෙන ආ ඇතින්නන් පිළිබඳ අපූරු සටහන් හමුවේ.

Image copyright Getty

සිංහල රජ ආණ්ඩු සමයේ අලි ඇතුන්ගේ අයිතිය රජු සන්තක විය.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වීමෙන් පසු අලි ඇතුන් යනු ඉහළ සමාජ ස්තරයට අයත් යැයි සැලකෙන රදල සහ ප්‍රභූ පන්තියේ වත්කම් ශේෂ පත්‍රයේ අනිවාර්ය අංගයක් විය.

අලි ගාල් නමින් හැඳින්වූ වන අලි කොටු කර ගැනීමේ අමානුෂීය පිළිවෙත නිදහස ලැබීමෙන් පසුද තවත් කලක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විය.

පනාමුරේ සුප්‍රකට ඇත් රජු (සැබවින්ම ඔහු ඇතකු නොව අලියකු බව සඳහන්ය) ස්වකීය වර්ගයා වෙනුවෙන් දිවි පිදු අතර එම අසහාය නායකයාගේ දිවි පිදුම මෙරට අලි ගාල් බැඳීම අවසන් වීමටද කරුණු කරනා විය.

එහෙත් මේ වන විට ශ්‍රී ලාංකීය අලි ඇතුන් යළිත් අතිශය ඛේදජනක ඉරණමකට මුහුණ දී සිටිති.

මහින්ද රාජපක්ෂ පරිපාලනය සමයේ අලි ඇතුන් නීති විරෝධී ලෙසින් නිවාසවල සහ බෞද්ධ විහාරස්තානවල රඳවාගෙන සිටි බවට චෝදනා එල්ල විය.

යටත් විජිත යුගය

දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් මේ සද්දන්තයින්ට ඔවුන්ගේ වන රජ දහන අහිමි වෙමින් පවතී. අලි මිනිස් ගැටුමට ප්‍රධානම හේතුව එයයි.

යටත් විජිත යුගයේ සහ නිදහසින් පසුද මුල් දශක කිහිපයේ මෙරට අලි ඇතුන්ගේ හිමිකම රදල ප්‍රභූ පවුල් සතු විය.

Image copyright Getty

එදා නිදහස හිමි වීමට පෙර අලි පැටියකුගේ මිල රුපියල් දහසකට අඩු වූ අතර හීලෑ අලියකුගේ දෛනික වැඩ කුලිය රුපියල් විස්ස ඉක්ම නොවීය.

පසු කාලීනව ශ්‍රී ලංකාවේ දැව කර්මාන්තය හා බැඳී ව්‍යාපාරික පැලැන්තිය අතරට අලි ඇතුන්ගේ අයිතිය විතැන් වූ අතර එතෙක් අහවල් අහවල් වලව් හා බැඳි නමින් යුතු හීලෑ අලි ඇතුන් වෙනුවට විවිධ ව්‍යාපාරික නම්ගොත් හා බැඳී හීලෑ අලි ඇත්තු කරලියට පැමිණියහ.

දැන් ශ්‍රී ලංකාවේ මහා පරිමාණ දැව කර්මාන්තයක් නැති තරම්ය.

දැන් ඉතිරිව ඇති සීමිත හීලෑ අලි ඇතුන් ප්‍රමාණය මෙරට සංචාරක ව්‍යාපාරය හා බැඳුනකි.

හබරණ ඇතුළු සංචාරක කලාප වල විදෙස් සංචාරකයින් සඳහා වෙන් වූ අලි සෆාරි, එහි යෙදවෙන අලි ඇතුන්ට කෙසේ වෙතත් අලි හිමියන්ටත් එම සේවා පවත්වා ගෙන යන අතරමැදියන්ටත් කදිම ධන උල්පතකි.

හක්ක පටස්

පෙරහැර පවත්වා ගෙන යෑමටවත් හීලෑ අලි ඇතුන් ප්‍රමාණවත් නැතැයි පිරිසක් මැසිවිලි නගන අතර සෑම වසරකම හීලෑ අලි ඇතුන්ට වඩා හත් අට ගුණයක වන අලි රට පුරා විවිධ ප්‍රදේශවලදී මිනිසුන් අතින් මැරුම් කති.

ඌරන්ට අටවන හක්ක පටස් නමැති මර උගුල් හමුවේ ඉතා ඛේදනීය ලෙස මරණය පෙනී පෙනී විඳවන වන අලි පිළිබඳ පුවත් නිතර වාර්තා වේ.

Image copyright Getty

තවත් අතකින් දුම්රියට බිලිවන වන අලි ඇතුන්ද සංඛ්‍යාත්මකව සුළු පටු නොවේ.

පෙරහැරවල ගරු ගාම්භීරව ගමන් ගන්නා අලි ඇතුන් පිළිබඳ සහ අලි හාම්පුතුන්ගේ වරුණාව එවන් පෙරහැරවල සජීවී ප්‍රකාශවල අපට නිතර අසන්ට ලැබේ.

යදමින් බැඳ විලංගුවේ නිදි නොලබා වෙහෙසින් වෙහෙසට පත්ව විදුලි ආලෝක ධරා හමුවේ වැගිරෙන කඳුලෙන් යුතු එම අලි ඇතුන් නිහඬව සඳහන් කරනුයේ සජීවී විස්තර විචාරකයන්ගේ කතාවට ඉඳුරාම වෙනස් පුවතකි.

අලියා ඉතා තියුණු ඉවක් ඇති සතෙක් ලෙස සැලකේ. උගේ මතකයද එලෙසම වේ.

ඇතැම් අලියකු කෙතරම් බුද්ධිමත්දැයි සිතා ගැනීමටත් බැරි තරම්. ඇත්ගොව්වාගේ වාචික මෙන්ම නිර්වාචික විධානයන්ට හීලෑ අලි ඉඳුරා ප්‍රතිචාර දක්වති.

ප්‍රචණ්ඩත්වය ඉහ වහා ගිය අලි ඇතුන් පිළිබඳවද අපට අසන්ට ලැබේ.

තුන් තේරවිල්ලක්

මෑත අතීතයේ ඇත්ගොව්වන්ගේම ඔළු ගෙඩි කෑ එක් ඇතින්නක් විය. ඇගේ මේ ඔලු කෑමේ පුරුද්ද නිසාම ඈ වඩාත්ම ප්‍රසිද්ධ වූයේ 'ඔලු කන ඇතින්න' නමිනි.

එහෙත් තවුසන් තරමට සාදු ගුණයෙන් යුතු හීලෑ අලි ඇතුන්ද නැත්තේ නොවේ.

මද කිපෙන කළ වුව කිසිදු වෙනසකින් තොරව ඇත්ගොව්වා ඇතුළු සිය හාම්පුතුට පෙර සේ සුවච කීකරු අලි ඇතුන්ද අපට හමු වෙති.

Image copyright Getty

සුරා මතින් පදම ඉක්ම වූ සිය ඇත්ගොව්වා හොඬවැලෙන් රැගෙන ආරක්ෂක ස්ථානයකට රැගෙන ගිය, යුතු අයුතුකම් දන්නා අලියකු පිළිබඳ ඡායාරූප වාර්තාවක් පසුගිය දිනක මෙරට පළ වී තිබුණා මතකය.

අලියා නොයන මග ඉනිමග, අලියා නොකන දැල්ල ගිනි දැල්ල යනාදී වශයෙන් තේරවිලි සාහිත්‍යයේ පවා ඉඩ කොටසක් වෙන් කර ගෙන සිටින අලි සහ මිනිසා අතර බැඳීම ඇත්තෙන්ම තුන් තේරවිල්ලකි.

දුකසේ වපුල අස්වැන්න විනාශ කරන අලි ඇතුන්ට ගිනි පිඹින සාප කරන අපේ මිනිසුන් එවන් සද්දන්තයකු අසරණව ඇද වැටුණු මොහොතක උවැටන් කිරීමට ඉදිරිපත් වන්නේ එබැවිනි.

දුක සේ වල් අලි පලවා හරිමින් වැපිරූ කෙත් බිම කිරි බරෙන් පීදුණු පසු අලින්ටම දන් දුන් අපේ කාලයේ අපූරු වෙස්සන්තර ගොවි පියකු පසු ගිය දිනක සීගිරියෙන් වාර්තා විය.

සංචාරක කර්මාන්තය

එදා සදාතුක කරඬු ඇතුළු දේවාභරණ වැඩමවීම සඳහා ඇතකු අලියකු වැනි පිරිමි සතකු මිස ඇතින්නක භාවිතයට නොගත්හ. දෙවියන් බුදුන් වැඩමවන සතා යැයි ගෞරව බහුමානයට පත් අලි ඇතුන් පිට නැගීම ස්ත්‍රීන්ට ඉඳුරා තහනම් විය.

එදා කිලිවලට හසු වූ ඇත්ගොව්වෙකු වී නම් තම අලියා හෝ ඇතා ළඟට ගියේ නා පෙවී පිරිසිදු වූ පසුවය.

Image copyright Getty

සේරප්පුවක් සපත්තුවක් පය ලා අලියකු පිට නැගීම සහගහන අපරාධයක් ලෙස පැරැන්ණෝ සැලකූහ.

සංචාරක කර්මාන්තයේ අනුභාවය හේතු කොට ගෙන අද අලි ඇතුන් පිට විදෙස් සංචාරක කාන්තාවෝ පෙලින් පෙළ සැදී වීදි සරති.

පාරවල වැඩ කිරීම අවමානයක්‌ යැයි සිතා ලය පැලී මිය ගිය අලි මුතුන් මිත්තන්ගේ පරපුරේ වත්මන් අලි මුනුබුරු මිනිබිරියන් මහමග සිඟනු දැන් දැන් සුලබ දසුනකි.

උඩවලව අභය භූමිය ආසන්නයේ වැට මායිමේ, බුත්තල කතරගම මහා මාර්ගයේද මෙසේ මහමග සිඟන වන අලි සුලභ වෙති.

දශක කිහිපයක් ඇතුළත සිදු වූ මෙකී පරිවර්තනය හුදෙක් අලි ඇතුන්ගේ අභිමානයේ පරිහානිය පමණක්ම නොව මනුෂ්‍ය ජාතියේම අභිමානයේ පරිහානිය නොවේදැයි අප අපෙන්ම විමසිය යුතු නොවේද?

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර