රනිල් මෛත්‍රී ආණ්ඩුවේ පළමු ජාත්‍යන්තර කඩුල්ල

Image copyright Sri Lanka Foreign Ministry
Image caption විදේශ අමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා ඉරිදා මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා හමුවූහ

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරය සැප්තැම්බර් 14 වන සඳුදා ආරම්භ වෙයි. එය අවසන් වන්නේ ඔක්තෝබර් දෙවැනි දාය.

ශ්‍රී ලංකාවේ වගවීම, සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන යෝජනාව 2014 මාර්තු මාසයේ පැවැත්වුන 25 වන සැසිවාරයේ දී සම්මත විය.

එකී යෝජනාව අනුව සිදුකරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ පරීක්ෂණ වාර්තාව සඳුදා ඇරඹෙන 30 වන සැසිවාරයේ දී සාකච්ජාවට ගැනෙනු ඇත.

මෙම වාර්තාව සාකච්ජාවට ගැනීමට නියමිතව තිබුණේ පසු ගිය මාර්තු මාසයේ දී පැවැති 28වන සැසිවාරයේ දී ය. ජනවාරි 08 දා බලයට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවේ ඉල්ලීම සහ එකී යෝජනාවේ මූලිකයා වූ එක්සත් ජනපදයේ අනුමැතිය අනුව වාර්තාව ඉදිරිපත් කිරීම මෙම 30 වන සැසිවාරය දක්වා කල් තබන ලද්දේ පැහැදිළි දේශපාලන තීරණයක් අනුවය.

මෙවර මෙම වාර්තාව ඉදිරිපත් වන්නේ ඊට අදාළ යෝජනාව සම්මත වූ 2014 මාර්තු මාසයේ පැවැති තත්වයට සම්පූර්ණයෙන්ම වෙනත් තත්වයක් යටතේ ය.

අද බලයේ සිටින්නේ ශ්‍රී ලංකාවෙහි මානව සහ ප්‍රජා අයිතීන් යළි පිහිටුවීමට ගිවිස ගත් ආණ්ඩුවකි.

Image copyright Amnesty International
Image caption පසුගිය සතියෙහි ජිනීවා නුවර වෙත පැමිණ විවිධ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් හමු වූ මානව හිමිකම් ආරක්ෂකයිනට පෙර වසරවලදී ලද සාධනීය ප්‍රතිචාර ලැබුණේ නැත

යෝජනාව ගෙන ආ අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ වගවීම - විශේෂයෙන්ම යුද්ධයේ අවසාන කාලයෙහි සිදු වූ බවට චෝදනා කැරෙන බරපතල මානව හිමිකම් කෙළෙසීම සම්බන්ධයෙන් වගවීම - තහවුරු කැරෙන අන්තර් ජාතික පරීක්ෂණයක් ඇතිවනු ඇතැයි විශ්වාසයක් තිබුණි.

වාර්තාව ආණ්ඩුවට

අද එම විශ්වාසය වාෂ්ප වී යෑමට ආසන්න ය. මන්ද යත් එකී වගවීම පිළිබඳ කරුණු ආමන්ත්‍රණය කැරෙන පිළිගත හැකි ස්වාධීණ දේශීය යාන්ත්‍රණයක් පිහිටුවන බවට නව ශ්‍රී ලංකා ආණ්ඩුව දී ඇති සහතිකය නිසා ය. එමෙන්ම 2012, 2013 සහ 2014 වර්ශයන් හිදී ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනා තුනකටම මූලිකත්වය ගත් එක්සත් ජනපදය ශ්‍රී ලංකාණ්ඩුවේ ස්ථාවරය සමඟ එකඟ වී ඇති නිසා ය.

බොහෝ කල් පසු වූ එම වාර්තාවෙහි පිටපතක් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත ලබා දී තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුව මෙම වාර්තාව සම්බන්ධයෙන් දක්වන ලිඛිත ප්‍රතිචාරය ද වාර්තාවට ඇමුණුමක් ලෙස ඉදිරිපත් වීමට ඉඩ තිබේ.

මානව හිමිකම් කවුන්සිලය වෙත මෙම වාර්තාව ලබන 16 වැනි බදාදා ලබා දෙනු ඇත. වාර්තාවට පුලුල් ප්‍රසිද්ධියක් ලබා ගැනීම පිණිස සන්නිවේදන උපදේශකවරයකු ද දැන් පත් කර තිබේ.

Image caption පරීක්ෂණය සඳහා සහාය වීමට පත්කරන ලද අන්තර් ජාතික උපදේශකයින් තිදෙනාගෙන් එක් අයකු හෝ බදාදා මාධ්‍ය හමුවට සහභාගිවීමට ඉඩ තිබේ

මෙයට පෙර මානව හිමිකම් කවුන්සිලය වෙත මෙවැනි වාර්තා ඉදිරිපත් කරන ලද්දේ එහි සාරාංශයක් කවුන්සිලයේ අදාළ සැසිවාරය හමුවෙහි ඉදිරිපත් කිරීම මගිනි. නමුත් මෙවර වාර්තාව දියත් කිරීමේ හමුවක් 16වන බදාදා පැවැත්වෙන බව ජිනීවාහි මානව හිමිකම් රාජ්‍ය නොවන සංවිධාන වෙත වාර්තා වී තිබේ.

බොහෝ දුරට ඒ සඳහා මෙම පරීක්ෂණය සඳහා සහාය වීමට පත්කරන ලද අන්තර් ජාතික උපදේශකයින් තිදෙනාගෙන් එක් අයකු හෝ සහභාගිවීමට ද ඉඩ තිබේ. බොහෝ දුරට ශ්‍රී ලංකාණ්ඩුවේ නියෝජිතයකු ද ඊට සහභාගි වනු ඇත.

වාර්තාව ඒකපාර්ශවීය නොවන එනම් යුද්ධයේ දෙපාර්ශවයම සම්බන්ධයෙන් විවේනාත්මක එකක් වනු ඇතැයි දැන ගන්නට තිබේ. එහි කිසිදු යුද හෝ දේශපාලන ප්‍රධානියකුට චෝදනා නොකැරෙනු ඇතැයි ද කියැවේ.

ඊට හේතුව නම් අදාළ පුද්ගලයින්ගෙන් ප්‍රශ්ණ නොකොට ඔවුන්ට චෝදනා ඉදිරිපත් කිරීම සදොස් යැයි එක්සත් ජාතීන්ගේ පරාමිතීන් අනුව කියැවෙන නිසා ය. එසේ නමුත් අපරාධයන්ට අදාළ හමුදා ඛණ්ඩ නම් කිරීමට ඉඩක් ඇතැයි ද කියැවේ.

එක්සත් ජනපද ජිනීවා දූත මණ්ඩලය විසින් වාර්තාව පිළිබඳ පසු විපරම් යෝජනාව පිළිබඳ සාකච්ජා කිරීමට එළැඹෙන 17වන දිනට කැඳවා තිබූ සාකච්ජාව දැන් 21 දිනට කල් දමා තිබේ. ඒ වාර්තාව ප්‍රසිද්ධ කිරිම අනපේක්ෂිත ලෙස කල් ගිය නිසා ය. එම සාකච්ජාවේ අරමුණ එකඟතා යෝජනාවක් ගෙන ඒම බව දැනටමත් එක්සත් ජනපද දූත මණ්ඩලය පවසා තිබේ.

යාන්ත්‍රණයේ කටු සටහනක්

මේ වන විට ජිනීවා නුවර වෙත පැමිණ සිටින ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර ඉරිදා මහ කොමසාරිස්වරයා හමු වී සාකච්ඡා කළේය. ඔහු සදුඳා පෙරවරු 11.40ට මානව හිමිකම් කවුන්සිලය ඇමැතීමට නියමිත ය.

සතියකට පෙර කොළඹදී මානව හිමිකම් සිවිල් සංවිධාන කිහිපයක නියෝජිතයින් හමුවූ ඔහු කියා තිබුණේ වගවීම පිළිබඳ දේශීය යාන්ත්‍රණය පිහිටුවීමේ ක්‍රියාවලිය ඔක්තෝබර් මාසයේ දී ආරම්භ කරන බවයි. මානව හිමිකම් කවුන්සිලය ඇමැතිමේ දී ඔහු යෝජිත දේශීය යාන්ත්‍රණයේ කටු සටහනක් ඉදිරිපත් කරනු ඇත.

Image copyright Sunanda Deshapriya
Image caption මාර්තු මාසයේ දී පැවැති 28වන සැසිවාරයේ වාර්තාව ඉදිරිපත් කිරීම කල් තබන ලද්දේ පැහැදිළි දේශපාලන තීරණයක් අනුවය

ශ්‍රී ලංකාවේ ආණ්ඩු පෙරළියෙන් පසු ජිනීවාහි 2009 මොහොත එහි ප්‍රතිවිරුද්ධය ලෙස දැන් ආපසු පැමිණ තිබේ. 2009 වසරෙහි දී යුරෝපා සංගමයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් සමයේ සිදුවූ බවට චෝදනා කැරෙන බරපතල මානව හිමිකම් සොයා බැලීමේ අරමුනින් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාරයක් කැඳවන ලදී.

එසේ නමුත් කවුන්සිලයේ බහුතර රටවල් එම යුරෝපා සංගමයේ යෝජනාවට විරුද්ධ වී ශ්‍රී ලංකාණ්ඩුව ගෙන ආ යෝජනාව සම්මත කළේ ය.

ඉදිරිපත් කැරෙන වාර්තාවට පසු විපරමක් වශයෙන් මෙම 30 වන සැසිවාරය හමුවට ගෙන එන කවර හෝ යෝජනාවකට ශ්‍රී ලංකාණ්ඩුව විරුද්ධ වුවහොත් එය මානව හිමිකම් කවුන්සිලයේ බහුතර ජන්දයෙන් පරාජය වීමට ඉඩ තිබේ. ඊට හේතුව 2009ට වඩා සහමුලින්ම වෙනස් ය.

මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයක්?

එනම් ශ්‍රී ලංකාවෙහි ආණ්ඩු පෙරළියක් වී රාජපක්ෂ පාලනය අවසන් වී යෑමත් නව ආණ්ඩුව වගවීම සහ සංහිදියාව සම්බන්ධයෙන් නව සහ සම්මුතිකාමී ස්ථාවරයකට පැමිණ සිටීමත් නිසා ය.

මෙම තත්වය යටතේ ශ්‍රී ලංකාවේ වගවීම, සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම තේමාව ඇතිව මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරයට ඉදිරිපත් කැරෙන යෝජනාවෙහි අන්තර්ගතය තීරණය කිරීමේ මහත් ඉඩකඩක් දැන් ශ්‍රී ලංකාණ්ඩුවට ලැබී තිබේ.

Image caption ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් විසින් සැසිවාරයට ඉදිරිපත් කරනු ඇත්තේ සැප්තැම්බර් 30 වන දින දහවල් 12.00 ටය

පසුගිය සතියෙහි ජිනීවා නුවර වෙත පැමිණ විවිධ රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් හමු වූ මානව හිමිකම් ආරක්ෂකයිනට පෙර වසරවලදී ලද සාධනීය ප්‍රතිචාර ලැබුණේ නැත.

එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාණ්ඩුව එක්ව ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කැරෙන යෝජනාවේ මුල් කෙටුම්පත දක්නට ලැබෙනු ඇත්තේ 21 දින ය. එම කෙටුම්පත ශක්තිමත් කිරීමට ලතින් ඇමෙරිකානු රටවල් යම් යම් යෝජනා ගෙන ඒමට ද ඉඩ තිබේ. ආසියානු සහ අප්‍රිකානු රටවල් ශ්‍රී ලංකාවේ ස්ථාවරය සමඟ ගමන් කරනු ඇතැයි පෙර වසර වල හැසිරීම අනුව අනුමාන කළ හැක.

සිය කාර්යාලය විසින් සකස් කරන ලද ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිඩ් විසින් සැසිවාරයට ඉදිරිපත් කරනු ඇත්තේ සැප්තැම්බර් 30 වන දින දහවල් 12.00 ටය. ඉන්පසු තෙපැයක සාකච්ජාවක් පැවැත්වෙනු ඇත.

යෝජනා ඉදිරිපත් කැරෙන්නේ ඔක්තෝබර් 01 සහ 02 යන සැසි වාරයේ අවසාන දින දෙකෙහි ය. එනමුත් ඊට පෙර යෝජනාවේ අවසන් පිටපත ප්‍රසිද්ධ කැරෙනු ඇත. එහි අන්තර්ගතය ගැන නිශ්චිත යමක් දැනට කිව නොහැක. යෝජිත දේශීය යාන්ත්‍රණය පිළිගැනීමක් එහි අඩංගු වනු ඇත. සමහර විට එවැන්නක් සඳහා දළ ප්‍රමිතීන් එහි ඇතුළත් වීමට ඉඩ තිබේ.

වසරක් හෝ දෙවසරක් ඇතුළත හෝ වාර්ශිකව හෝ වගවීම, සංහිදියාව සහ මානව හිමිකම් සම්බන්ධ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය මානව හිමිකම් කවුන්සිලයට වාර්තා කරන සේ එමගින් මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටීමට ද ඉඩ තිබේ. ශ්‍රී ලංකාණ්ඩුව එකඟ වන්නේ නම් මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමටද යෝජනා වීමට ඉඩ තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර