සත්‍ය කොමිසමක් පිහිටුවනවා - මංගල

Image caption 'බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම සහ වෛරී භාෂාව අපරාධ බවට පත්කරමින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම ඇතුළු වැඩපිළිවෙල ගණනාවක් ක්‍රියාවට නැගෙමින් පවතී'

ශ්‍රී ලංකාවේ යුද්ධයේදී සිදුවූයේ කුමක්ද යන්න සොයා බැලීම පිණිස දකුණු අප්‍රිකාවේ බලධාරීන් සමග සාකච්ඡා කොට සත්‍ය, යුක්තිය සහ සංහිඳියාව පිළිබඳ කොමිසමක් පිහිටුවන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළේය.

අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ, ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී සඳුදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 30 වැනි සැසිවාරය අමතා කථාකරමින්.

ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථානුකූලව පිහිටවෙන අදාළ සත්‍ය කොමිසම කොටස් දෙකකින් යුක්ත වන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

"සියලුම ප්‍රධාන ආගම් නියෝජනය වන ආකාරයෙන් ආගමික නායකයන්ගෙන් සැදුම්ලත් සානුකම්පිත මණ්ඩලයක් සහ කොමසාරිස්වරුන් ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් එයට ඇතුලත් වේ," අමාත්‍යවරයා පැවසීය.

අලුත් ව්‍යවස්ථාවක්

එමෙන්ම අතුරුදහන්වූවන්ට සිදුවූයේ කුමක්ද යන්න දැනගැනීමට අවස්තාව සලසන අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවන බවටත් අමාත්‍යවරයා ප්‍රතිඥා දුන්නේය.

යුද්ධයේ දී සිදුවූ බව පැවසෙන මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම පිණිස රටේ නීතියට අනුකූලව අධිකරණමය ක්‍රියාදාමයක් පිහිටුවීම නව ආණ්ඩුවේ තවත් පියවරක්.

Image copyright Sri Lanka Foreign Ministry
Image caption ශ්‍රී ලංකා දූත මණ්ඩලය ඉරිදා මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස්වරයා හමුවිය

අගතියට පත්වූ පාර්ශවයන්ට වන්දි ගෙවීම ඇතුළු සත්‍ය කොමිසම සහ අනෙක් අදාළ ආයතනවල නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම පිණිස විශේෂ කාර්යාලයක් පිහිටුවන බවත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මානව හිමිකම් මණ්ඩලය ඉදිරියේ කියා සිටියේය.

"ගරු සභාපතිතුමනි, මෙවැනි දේ යළි සිදු නොවීම සහතික කිරීම් වස් පරිපාලන සහ අධිකරණමය සංශෝධන මෙන්ම නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම ඇතුළු වැඩපිළිවෙල ගණනාවක් පිළිබඳව යෝජනා වී තිබේ. බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම සහ වෛරී භාෂාව අපරාධ බවට පත්කරමින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම ඇතුළු වැඩපිළිවෙල ගණනාවක් ක්‍රියාවට නැගෙමින් පවතී."

  • නව ව්‍යවස්ථාවක්
  • දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක්
  • අතුරුදහන් කරවීම සහ වෛරී භාෂාව 'අපරාධ'
  • සත්‍ය සහ ඒකාග්‍රතාවය පිළිබඳ කොමිසමක්
  • අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයක්
  • වැරදිකරුවන්ට අධිකරණයෙන් දඬුවම්
  • වන්දි ගෙවීමේ කාර්යාලයක්

නව ව්‍යවස්ථාව මගින් දෙමළ ජනතා අභිලාෂයන් ඉටුවන දේශපාලන විසඳුමක් ලබාදීමට හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා සිය දේශනය ආරම්භ කළේ, ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව ප්‍රකාශයට පත්කිරීම ප්‍රමාද කිරීමට පසුගිය සැසිවාරයේදී එකඟවීම පිළිබඳව මහ කොමසාරිස්වරයාට සහ මානව හිමිකම් මණ්ඩලයට සිය ස්තුතිය පුද කරමින්.

එසේ කාලය ලබාදීම මගින් සංහිඳියාව සම්බන්ධ මුල් පියවර ආරම්භ කිරීමට සිය රජයට අවස්තාව සැලසුන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අගෝස්තු 17 වැනි දින පැවැත්වුන මහ මැතිවරණයේදී ජනතාව විසින් දෙපාර්ශවයේම අන්තවාදීන් පරාජය කර ඇති බව සඳහන් කළ විදේශ අමාත්‍යවරයා, එහි ප්‍රතිඵලයක් ලෙසින් ශ්‍රී ලංකාවේ 'ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ' ක්‍රියාවට නැගීමට අවස්ථාව උදා වී ඇති බවත් සඳහන් කළේය.

"නව ශ්‍රී ලංකාව තුල ජාතිය, ආගම, පන්තිය හෝ ලිංග භේදය කිසිවකුට හිමි ස්ථානය අහිමි කිරීම පිණිස යොදා නොගන්නා බවට දෙමළ ජාතික සන්ධානයේ නායකයා විපක්ෂනායකයා ලෙස පත් කිරීමත්, පසුගිය ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා පත්කිරීමත් මගින්පැහැදිලි පණිවුඩයක් දී තිබේ," අමාත්‍යවරයා පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර