ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඡන්ද ප්‍රතිඵලය මෝදිගේ ඇසින්

ශ්‍රී ලංකාවේ ජනතාව මේ වසර තුළ දෙවතාවක් ම ඡන්දය පාවිච්චි කර ඇත්තේ සංහිඳියාව, ප්‍රතිසංස්කරණ, ප්‍රගතිය සහ වෙනසක් සඳහා බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කරයි.

මෙය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය සනිටුහන් කළ ශක්තිමත් ම ප්‍රකාශනය ලෙස ඉන්දීය අගමැතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ අගමැතිවරයාගේ ද සහභාගිත්වය ඇතිව දිල්ලියේ දී පැවති මාධ්‍ය හමුවේ දීයි.

'ඓතිහාසික වසරක්'

මෙම වසර ඉන්දු ලංකා සබඳතාවල ඓතිහාසික වසරක් වශයෙන් ඉන්දීය අගමැතිවරයා හැඳින්වීය.

Image copyright pmindia

‘පසුගිය පෙබරවාරියේ දී ජනාධිපති සිරිසේන පිළිගැනීමේ ගෞරවය අප ලැබුවා. මාර්තුවේදී ශ්‍රී ලංකා සංචාරයක් ලැබීමට මට අගනා අවස්ථාවක් ලැබුනා. දැන් අගමැති වික්‍රමසිංහ අප සමඟ සිටිනවා.’ අග්‍රාමාත්‍ය මෝදි මාධ්‍යවේදීන්ට පැවසීය.

ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා ලෙස සිය ප්‍රථම නිල විදෙස් සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගැනීම වෙනුවෙන් ස්තුති කළ අග්‍රාමාත්‍ය මෝදි යහපාලන පෙරමුණේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක් කරන්නටද අමතක නොකළේය.

'සැබෑ සංහිඳියාවක්'

‘ලංකාවේ නායකත්වය පෙන්වා ඇති බුද්ධිමත් භාවය සහ කැප කිරීම් මත ජනතාවගේ ද සහයෝගය ඇතිව සැබෑ සංහිඳියාවක් කරා යා හැකි බවටත් එමගින් දෙමළ ජාතිය ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන්ට එක්සත් ශ්‍රී ලංකාවක් තුළ සමානාත්මතාව, යුක්තිය, සාමය සහ ආත්ම ගරුත්වය සහිත ජීවිතයක් ලබා ගත හැකි බවටත් මට හොඳටම විශ්වාසයි.’ ඔහු තව දුරටත් පැවසීය.

Image copyright pmindia

මේ අතරතුර ශ්‍රිලංකාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවත්නා දේශපාලන හා සමාජ සම්බන්ධතා ශක්තිමත් කරලීමට නිරතුරුවම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගෙන් ලැබුණු සහයෝගය ඉන්දීය විදේශ ඇමතිනී සුස්මා ස්වරාජ්ගේ පැසසුමට ලක් වූ බවයි.

රනිල් වික්‍රමසිංහ හා තමන් අතර ඇති පෞද්ගලික මිත්‍රත්වය ද්විපාර්ශවික කාර්යයන් ඉදිරියට ගෙන යාම සඳහා අතිමහත් රුකුලක් වූ බව ද ඇය පවසා ඇත.