ශ්‍රී ලංකා ධීවරයෝ ඉන්දීය සාකච්ඡා බැහැර කරති

Image copyright AP
Image caption ධීවර ට්‍රෝලර් යාත්‍රාවක්

ඉන්දීය ධීවරයින් ටෝලර් යාත්‍රා උපයෝගී කරගෙන බලහත්කාරයෙන් උතුරු මුහුදු සීමාවට පැමිණීම වලක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට ඉන්දියාවට පැමිණෙන ලෙස එරට ධීවර සංගම් නියෝජිතයන් කළ ඉල්ලීම උතුරේ ධීවර සමිති සංගම් විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හේතූ මොනවාදැයි විමසූ විට උතුරු ධීවර සංගමයේ අනුශාසක විනයාගමූර්ති සහාදේවන් කියා සිටියේ ශ්‍රීලංකා අග්‍රාමාත්‍යවරයාත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාත් ඉතා දීර්ඝ ලෙස සාකච්ඡා කොට කිසිදු විසදුමක් ලබා ගැනීමට නොහැකි වූ මෙම ප්‍රශ්නය සාමාන්‍ය ධීවර සමීති නායකයින් විසින් සාකච්ඡා කොට විසඳුමක් ලබාගැනීම කෙරෙහි කිසිදු විශ්වාසයක් නොමැති බවයි.

වලංගුභාවය

අවම වශයෙන් උතුරේ සිට ඉන්දියාවට යන ධීවර සමීති නායකයින් සමග ශ්‍රී ලංකා රජයේ වගකිවයුතු නිලධාරීන් පිරිසක් හෝ සහභාගි වන්නේ නම් ඒ තුල වලංගුභාවයක්, බලයක් හා නීත්‍යානුකූලභාවයක් ඇති බවයි සහාදේවන් පෙන්වා දෙන්නේ.

එසේ නොවන්නේ නම් දෙරටේ ධීවර සමීති නායකයින් පමණක් සාකච්ඡා කොට කිසිදු විසඳුමකට පැමිණීමට නොහැකි බවද ඔහු කියා සිටියේය.

දෙරටේ ප්‍රබලතම රාජ්‍ය නායකයින් දෙපල සාකච්ඡා කොට විසදා ගැනීමට නොහැකි වූ ප්‍රශ්නයක් සාමාන්‍ය ධීවර සමීති නායකයින් විසින් විසදාගැනීමට යාම අරමුණකින් තොරව සිදුකරණ අදුරේ අතපතගෑමක් බවද සහාදේවන් පෙන්වා දුන්නේය.

සාකච්ඡාවේ ප්‍රතිපල

රාජ්‍ය නායකයින් ඉන්දියාවේදී කළ සාකච්ඡාවේ ප්‍රතිපල හා තොරතුරු ශ්‍රීලංකාවේ ධීවර සමීති වෙත හෝ මේ වනතුරු ලබා නොදීම ගැන ඉතා කණගාටුවන බවයි සහාදේවන් ප්‍රකාශ කළේ.

ඉන්දියාවේ ධීවර සමීති කළ ඉල්ලීම සම්බන්ධයෙන් පලමුව ශ්‍රීලංකා රජයේ බලධාරීන් හා ධීවර බලධාරීන් සමග සාකච්ඡා වටයක් පැවැත්වීමට උතුරේ ධීවර සමීති තීරණය කොට ඇතැයිද ඔහු පැවසුවේය.

එම සාකච්ඡා වටයට ශ්‍රී ලංකාවේ දකුණේ ධීවර සමීති නියෝජිතයින් හවුල් කරගැනීමටද තීරණය කළ බව උතුරේ ධීවර සමීති සංගමයේ අනුශාසක විනයාගමූර්ති සහාදේවන් වැඩිදුරටත් කියා සිටියේය.