යුද්ධය අවසන්, උතුරේ මර්දනය 'නිමා වී නෑ'

Image copyright AFP

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුවත් සාමාන්‍ය ජනතාවට, වින්දිතයන්ට, මාධ්‍යවේදීන්ට සහ සිවිල් ක්‍රියාධරයන්ට එරෙහිව උතුරේ දියත්වන මර්දනය නිමා වී නැති බව පවසන මානව හිමිකම් සංවිධාන සහ ක්‍රියාධරයෝ, වහාම එය නැවැත්වීමට පියවර ගන්නා මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

සිවිල් සමාජ සංවිධාන 14 ක් සහ ක්‍රියාධරයන් පිරිසක් ඒ බව පවසන්නේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය පසුගිය සතියේ නිකුත් කළ වාර්තාවට ප්‍රසාදය පළකරමින් නිවේදනයක් නිකුත් කරමින්.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීමට කටයුතු කිරීම, ද්වේශ සහගත ප්‍රකාශ සහ අතුරුදහන්කරවීම දණ්ඩ නීති සංග්‍රහයට ඇතුලත් කිරීම ඇතුළු විදේශ අමාත්‍ය මංගල සමරවීර මානව හිමිකම් මණ්ඩලය අමතා කළ දේශනයේ 'බොහෝ සාධනීය කරුණු' පිළිබඳවද එම නිවේදනය ප්‍රසාදය පළ කරයි.

කෙසේ වෙතත්, විශේෂයෙන්ම උතුරේ තවමත් පවතින්නේ බියජනක වාතාවරණයක් බවයි නිවේදනය සඳහන් කරන්නේ.

"කලින් තත්වෙට සාපේක්ෂව ඉතා පැහැදිලි වෙනසක් දකින්න තියෙනව අලුත් ආණ්ඩුව ආවට පස්සේ," ඒ රයිට්ස් නව් සංවිධානයේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන.

Image copyright Getty

ඔහු ඇතුළු ක්‍රියාධරයන් 39 දෙනකුයි නිවේදනයට අත්සන් තබා තිබෙන්නේ.

"නමුත් තවමත් සමහර තැන්වල ඒ සාක්ෂිකරුවන් ඉදිරියට ඇවිල්ල මේ ගැන පැහැදිලි කරන්න තවමත් මැලිකමක් දක්වනවා, මක්නිසාද යත් මේ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ක්‍රියාදාමය තවමත් විධිමත්ව ක්‍රියාත්මක නොවන නිසා," ඔහු සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

පැහැදිලිවම යහපාලන ආණ්ඩුව මේ තත්වයට වගකිව යුතු බව සැබෑවක් මුත්, නව ආණ්ඩුවක් බලයට පත් වූ පමණින්ම වසර ගණනාවක් මුළුල්ලේ පැවති ක්‍රියාදාමයක් එක්වර වෙනස් නොවන බවයි නීතිඥ සුදර්ශන ගුණවර්ධන පවසන්නේ.

"ආරක්ෂක අංශවල ක්‍රියාකාරිත්වයේ ප්‍රමාණවත් වෙනස්වීමක් තවමත් සිදු වෙලා නැහැ."

Image copyright AFP

හරවත් බලය බෙදාහැරීමක් මගින් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයට ඉක්මන් දේශපාලන විසඳුමක් ලබාදීමට ක්‍රියාකරන මෙන්ද එම සංවිධාන ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරති.

ජනපතිවරණය සහ මහ මැතිවරණය අතර 'සංක්‍රාන්ති සමයේදී' ආරක්ෂක අංශවල ප්‍රතිසංවිධානයක් හෝ බලය බෙදීම පිළිබඳව සාකච්ඡාවට නොගැනුනු බව පෙන්වා දෙන නීතිඥ සුදර්ශන ගුණවර්ධන, "නමුත් දැන් ජාතික සමගි ආණ්ඩුවක් හදල තියෙනවා. එතැනදී මේ ප්‍රශ්නය පෙරමුණට ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. අපේ විශ්වාසය දැන් ලැබී තියෙන ජනවරමත් සමග මෙය කළ හැකි දෙයක් බව සහ කළ යුතු දෙයක් බවයි," වැඩිදුරටත් පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම පමණක් නොව ශ්‍රී ලංකාව අත්සන් තබා තිබෙන ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව සංශෝධනය කළ යුතුය යන්න ක්රියාධාරයන්ගේ ස්ථාවරය බවත් ඔහු සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර