නේපාල ෆෙඩරල් ව්‍යවස්ථාව 'ලංකාවට ආදර්ශයක්'

Image copyright AP
Image caption රාජාණ්ඩු පාලනය පැවති සමයේ හින්දු රාජධානියක්ව පැවති නේපාලය, අනාගමික රාජ්‍යයක් බවට පත්වීම නව ව්‍යවස්ථාවේ ප්‍රධානම අංගයක්

නේපාලයේ නව අනාගමික ෆෙඩරල් ව්‍යවස්ථාව ශ්‍රී ලංකාවටද ආදර්ශයක් බව ව්‍යවස්ථා කටයුතු පිළිබඳ විශේෂඥයෝ පවසති.

රාජාණ්ඩුව පෙරලා දමා ජනරජයක් බවට පත්වීමෙන් අනතුරුව දශකයකයට ආසන්න කාලයක් මුළුල්ලේ පැවති කඹ ඇදීම්වලින් අනතුරුව නේපාලය ඉරිදා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත්තේය.

කලක් මුළුල්ලේ සිවිල් යුද්ධයකට මුහුණ දුන් නේපාලයේ ගැටුම් නිමාවී දශකයකට පසුවයි එරට පළමු වරට ව්‍යවස්ථාවක් සම්මත කෙරුණේ.

රාජාණ්ඩු පාලනය පැවති සමයේ හින්දු රාජධානියක්ව පැවති නේපාලය, අනාගමික රාජ්‍යයක් බවට පත්වීම නව ව්‍යවස්ථාවේ ප්‍රධානම අංගයක්.

"රාජ්‍ය ආගමක් තිබුණු රටක් පසුව අනාගමික රාජ්‍යයක් වෙන ඒකෙන් තේරෙන්නේ ජනතාව කොපමණ මේ කාරණා පිළිබඳව විවෘත මනසකින් හොයා බලනවද, ඒ වගේම දේශපාලන නායකයෝ මේ පිළිබඳව දෙන නායකත්වයේ වැදගතකම තමයි අපිට තේරුම් ගන්න පුළුවන්," ආචාර්ය ජයම්පති වික්‍රමරත්න බීබීසී සංදේශයට පැවසීය.

නව ව්‍යවස්ථාව පිළිබඳව කත්මන්ඩු වාසීන් රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීතිය පල කළ අතර, රටේ ඉදිරි ගමනට දැන් අවස්තාව සැලසී ඇති බව ඇතැම් නේපාල වැසියෝ පැවසූහ.

කෙසේ නමුත් මේ ක්‍රියාදාමයේ කිසියම් නිශේධනීය අංගයක් තිබෙන බව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ගේ අදහසයි. ව්‍යවස්ථා සම්පාදන කටයුත්ත සඳහා දශකයක් තරම් දීර්ඝ කාලයක් ගතවීමයි ඒ.

Image copyright prakash timalsina
Image caption 'අපිත් බලන්න ඕනේ ඒ විදියට අනාගත ඉදිරි දැක්මක් එක්ක ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න'

"නමුත් අවසානයේ ඔවුන්ට පුළුවන් වුනා සෑහෙන හොඳ නවීන ව්‍යවස්ථාවක් හදන්න. මම හැමදාම කියන දෙයක් තමයි අලුත් ව්‍යවස්ථාවක් පමණක් නොවේ අවශ්‍ය, නවීන ව්‍යවස්ථාවක් කියන එක," ආචාර්ය වික්‍රමරත්න සඳහන් කළේ බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

"අපිත් බලන්න ඕනේ ඒ විදියට අනාගත ඉදිරි දැක්මක් එක්ක ව්‍යවස්ථාවක් සම්පාදනය කරන්න. අපිටත් හොඳට ඉගෙන ගන්න තියෙනවා."

නේපාලයට වසර දහයක් ගතවුවත්, ඉදිරි වසරක කාලයක් ඇතුලත නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇත යන්න සිය ප්‍රාර්ථනය පමණක් නොව විශ්වාසය බවත් ව්‍යවස්ථා කටයුතු විශේෂඥයා වැඩිදුරටත් සඳහන් කළේය.

2008 දී මාවෝවාදීන් මහ මැතිවරණයෙන් ජය ලබා බලයට පත්වුණේ නේපාලයේ වසර 240 ක් මුළුල්ලේ පැවති රාජාණ්ඩුව පෙරලා දමමින්. ෆෙඩරල් ක්‍රමයක් ස්ථාපිත කිරීම නව ව්‍යවස්ථාවේ තවත් ප්‍රධානම අංගයක්.

"අපිට පේනවා නේපාලයට ඒක ෆෙඩරල්ද, නැද්ද කියන එක ලොකු ප්‍රශනයක් වුනේ නෑ. මම හිතන්නේ ඉන්දියාවේ බලපෑමත් තියෙන්න ඇති. සමහර රටවල සමහරු හිතනවා මේ ෆෙඩරල් කියන්නේ රට බෙදන දෙයක් කියල. නේපාලයේ ආණ්ඩුව, ජනතාව එහෙම හිතල නැති බව පේනවා ඉතින් ඒක හොඳ වර්ධනයක්."

Image copyright Reuters
Image caption 'සමහර රටවල සමහරු හිතනවා මේ ෆෙඩරල් කියන්නේ රට බෙදන දෙයක් කියල. නේපාලයේ ආණ්ඩුව, ජනතාව එහෙම හිතල නැති බව පේනවා ඉතින් ඒක හොඳ වර්ධනයක්'

කෙසේ නමුත් සියලුම නේපාලවාසීන් නව ව්‍යවස්ථාවට සහාය දක්වන්නේ නැහැ.

දකුණු නේපාලයේ පස්රා දිස්ත්‍රික්කයේදී ව්‍යවස්ථාවට එරෙහිව ඉරිදා උද්ඝෝෂණයක යෙදී සිටි මදේෂි සුළු ජාතික කණ්ඩායම්වලට පොලිසිය වෙඩි තැබීමෙන් එක් පුද්ගලයකු මරුමුවට පත්විය.

මදේශි සහ තාරු සුලු ජාතික කණ්ඩායම් පසුගිය සති කිහිපය ඇතුලත දියත් කළ උද්ඝෝෂණවලින් 40 දෙනකුවත් මරුමුවට පත් වී තිබේ.

ෆෙඩරල් ක්‍රමය යටතේ පළාත් සීමා වෙනස්වීම සහ මැතිවරණ නීතියට කෙරුණු සංශෝධන හමුවේ තමන් තවදුරටත් කොන්කෙරෙනු ඇති බවට සුළු ජාතීහු බියප්තව සිටිති.