යුද අපරාධ: මහින්දගේ යෝජනාව 'ප්‍රතික්ෂේප කරනවා'

Image caption ‘එයා හිටියනම් ඒකනේ කරන්නේ. කොයි වාර්තාවත් ප්‍රතික්ෂේප කරනවා. ඒකනේ මේ තරම් තත්වයකට මේක ඇදිලා ආවේ'

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ඉදිරිපත් කළ වාර්තාව ප්‍රතික්ෂේප කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීම පිළිනොගන්නා බව ආණ්ඩුව පවසයි.

බදාදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් රජයේ ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේදී දිගින් දිගටම මෙවන් වාර්තා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මෙම ප්‍රශ්නය මෙතරම් බැරෑරුම් තත්වයකට පත්ව ඇති බවයි.

‘එයා හිටියනම් ඒකනේ කරන්නේ. කොයි වාර්තාවත් ප්‍රතික්ෂේප කරනවා. ඒකනේ මේ තරම් තත්වයකට මේක ඇදිලා ආවේ. එක්සත් ජාතීන්ගේ ඔක්කොම ප්‍රතික්ෂේප කරනවා නම් අවුරුද්දකට සැරයක් ගිහිල්ලා එතුමා එක්සත් ජාතීන් ආමන්ත්‍රණය කරන්නේ මොකටද? ඒකත් ප්‍රතික්ෂේප කරන්න තිබ්බනේ’ අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී මාධ්‍යවේදියකු අමාත්‍යවරයාට පෙනවා දුන්නේ ‘තමන් එදා එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මුන් සමග එකඟ වූයේ යුද අපරාධ චෝදනා ගැන සොයා බැලීමට නොව 'දුක්ගැනවිලි ගැන සොයා බැලීමට' යැයි හිටපු ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබූ කරුණ පිළිබඳවයි.

Image copyright No Fire Zone
Image caption ‘බැන්කි මුන්ට පොරොන්දු වුනේ මොකද මේ යුද අපරාධ හොයනවා කියලා. එතනින්නේ මේ තත්වය නරක කර ගත්තේ. තමන්ම පිළිගෙන යුද අපරාධ තිබ්බා කියලා’

හිටපු රජය යුද අපරාධ පිළිබඳ එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවට පොරොන්දු වී එම පරීක්ෂණ නොපැවැත්වීම හේතුවෙන් වර්තමානයේ මෙවන් තත්වයක් උදා වී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

'බැන්කි මුන්ට පොරොන්දු වුනේ මොකද මේ යුද අපරාධ හොයනවා කියලා. එතනින්නේ මේ තත්වය නරක කර ගත්තේ. තමන්ම පිළිගෙන යුද අපරාධ තිබ්බා කියලා.'

"හයිබ්‍රිඩ්" උසාවිය යන වචනය ආණ්ඩුව හෝ එක්සත් ජාතීන්ගේ වාර්තාව ඉදිරිපත් කළ එකක් නොව මාධ්‍ය විසින් ඉදිරිපත් කළ එකක් බව මෙහිදී අමාත්‍යවරයා පැවසූ අතර එවිට බීබීසීය අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ "හයිබ්‍රිඩ්" උසාවිය යන වචනය එක්සත් ජාතීන් මාධ්‍යයට ලබා දුන් නිවේදනයේ සඳහන් බවයි.

මේ අතර ඇවන්ට් ගාර්ඩ් පරීක්ෂණ පෙරට ගෙන යන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඍජු නියෝගයක් දුන් බවද රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අඟහරුවාදා, පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ආණ්ඩුව එම පරීක්ෂණ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ සිය කනස්සල්ල පළ කළේය.