ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදයට දොර වසන හැටි

Image copyright Srilal Gomes
Image caption 1978 ව්‍යවස්ථාව මගින් රාජ්‍යය තුළ ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ යන බල ත්‍රිත්වය විධායක ජනාධිපති පදවිය වෙත කේන්ද්‍ර ගත කරනු ලැබිණ

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට යන දේශපාලන බලවතුන් විසින් තේරුම් ගත යුතු ඉතාම වැදගත් කාරණයක් වෙයි. එනම් පවතින ව්‍යවස්ථාව මගින් මහජන ප්‍රජාතන්ත්‍රවාදය සීමා කරනු ලැබ ඇති ආකාරයයි.

දැන් බලපැවැත්වෙන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හුදෙක් සීග්‍ර ආර්ථික සංවර්ධනයක උවමනාව පෙරට තබමින් සමාජ සංවාදයකට නොගොස් හදිසියේ නිර්මාණය කරන ලද්දකි. ඒ තුලින් විය යුතු පරිදිම සිදු වූයේ ප්‍රජාතන්ත්‍රීය පද්ධතිය දුර්වල වීමයි.

එම දුර්වලතාව ඇති වූයේ විධායක ජනාධිපති ක්‍රමයක් ආදේශ කරමින් එය පාලන ව්‍යුහයේ කේන්ද්‍රස්ථානය හැටියට ස්ථාපිත කරනු ලැබීමත් සමඟයි.

එහි ලක්ෂණය වන්නේ රාජ්‍යය තුළ ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ යන බල ත්‍රිත්වය එකම ආයතනයක් වෙත එනම් විධායක ජනාධිපති පදවිය වෙත කේන්ද්‍ර ගත කරනු ලැබීමයි.

මූලික අයිතිවාසිකම්

පවතින ව්‍යවස්ථාවේ තිස් වෙනි වගන්තිය බොහෝ විවාදයට ලක් වූවකි. එමගින් ජනාධිපතිවරයා වෙත අධිකරණ මුක්තියක් ලබා දී ඇති අතර ජනාධිපතිවරයාට එරෙහිව කිසිදු අධිකරණයක් ඉදිරියේ නඩු පැවරිය නොහැකි වෙයි.

එය පැහැදිලිවම රටේ ප්‍රජාතන්ත්‍රීය රාමුව දුර්වල කරනු ලැබීමකි.

Image caption 1978 ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයා වෙත ලබා දුන් මුක්තිය හේතුවෙන් ජනාධිපතිවරයාට එරෙහිව කිසිදු අධිකරණයක් ඉදිරියේ නඩු පැවරිය නොහැකිය

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හඳුන්වා දෙන ලද මූලික අයිතිවාසිකම් ප්‍රකාශනය 1978 ව්‍යවස්ථාව මගින් ද නීතිගත කරනු ලැබ ඇතත් එම පියවර එම හිමිකම් මහජනයාට ලබා දීම අතින් සහතිකයක් නොවේ.

ශ්‍රී ලංකාවේ සුළු ජාතීන් සහ සුළු ආගමික කණ්ඩායම් පමණක් නොව එම මූලික අයිතිවාසිකම් වෙනත් අණපනත් මගින් පැහැර ගනු ලැබීම සම්බන්ධයෙන් මහ ජාතිය තුලත් විවේචන පවතී.

එය විවේචන මට්ටමින් පවතින්නක් නොව බොහෝ අය මූලික අයිතීන් ඉල්ලා අධිකරණයේ පිළිසරණ සොයා යාම සුලභ කරුණක් වී ඇත.

ජනමත විචාරණය

'ජනමත විචාරණය' ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්හි මහජනයා සතු අවියක් විය හැක.

ශ්‍රී ලංකාවේ පවතින ව්‍යවස්ථාව මගින් ජනමත විචාරණය නීතිගත කරනු ලැබ ඇතත් එවැන්නක් කැඳවීම සහ මහජන තීන්දු ක්‍රියාවට නැංවීම අවසාන වශයෙන් රැඳී පවතින්නේ විධායක ජනාධිපතිවරයා අතයි.

Image copyright bbc
Image caption පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුල ඔවුන්ගේ අයිතිවාසිකම් සහතික කෙරී නොමැති බව සුළු ජාතීහු පවසති

ශ්‍රී ලංකාව තුල ජනමත විචාරණයක් සම්බන්ධයෙන් ඇති එකම අත්දැකීමත් මහජන ප්‍රජාතන්ත්‍රීය අයිතිය තහවුරු කිරීම සඳහා නොව එම අයිතිය පැහැර ගනු ලැබීමක් සම්බන්ධයෙනි.

ජනාධිපති ජයවර්ධන 1982 වසරේ ජනමත විචාරණයක් කැඳවන ලද්දේ එවකට පැවති හයෙන් පහක බලයක් සහිත පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කර ගැනීම සඳහායි.

මෙයින් පෙන්නුම් කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ඉතා චිත්තාකර්ශනීය වගන්ති ඇතුළත් විය හැකි නමුත් එවා ප්‍රායෝගික මට්ටමින් මහජනයාට භුක්ති විඳීමට කිසිදා නොලැබෙන අතර ඒවා අලංකාර සැරසිලි විශේෂයක මට්ටමට පත් වෙන බවයි.

සුළු ජාතීන්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එය ක්‍රියාත්මක වෙන දේශපාලන සමාජයේ සියලු ජන කොටස් වල ගෞරවයට පාත්‍ර විය යුතු අංගයකි.

එම ගෞරවය නීතිමය ප්‍රතිපාදන මගින් තහවුරු කර ගත නොහැකි අතර එමගින් ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු වෙන බවයි පළමුව සහතික කළ යුත්තේ.

1972 හෝ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ද්වය එම සුළු ජාතික ගෞරවය දිනා ගැනීමට අපොහොසත් වූ බව නොරහසකි.

ශ්‍රී ලංකාවේ සුළු ජාතික සහ සුළු ආගමික කොටස්වල විවේචනය පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුල ඔවුන්ගේ අයිතිවාසිකම් සහතික කෙරී නොමැති බවයි.

පෙර කී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් දෙකම අනාගමික බවින් ඈත්වීමයි එම විවේචනයන් තුල සැඟවී පවතින්නේ.

අභිනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේදී එම කරුණු සැලකිල්ලට ගැනීම පාලකයන්ගේ වගකීමකි.

(මහාචාර්ය පී අතුකෝරල බීබීසී සංදේශයේ උපාලි ගජනායක සමඟ පැවැත්වූ සාකච්ඡාවක් ඇසුරින්)

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර