ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සෑම ජාතියකටම සේවය කරනවා: මන්ත්‍රී වේලුකුමාර්

මහනුවර දිස්ත්‍රික්කයේ 'සිංහල මන්ත්‍රීවරයා, දෙමළ මන්ත්‍රීවරයා, මුස්ලිම් මන්ත්‍රීවරයා' ලෙසින් බෙදී වෙන් නොවී සියලු දෙනාගේ මහජන නියෝජිතයා බවට පත්වීම සිය බලාපොරොත්තුව බව එම් වේලුකුමාර් මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට පැවසීය.

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ මනෝ ගනේෂන් හා පලනි දිගම්බරම් නායකත්වය දරන දෙමළ ප්‍රගතිශීලි පෙරමුණෙන් තේරී පත්වුණු මන්ත්‍රීවරු හය දෙනා අතරින් 42 හැවිරිදි එම් වේලුකුමාර් නවක මන්ත්‍රීවරයෙක්.

2013 පළාත් සභා මැතිවරණයෙන් ප්‍රථම වරට මධ්‍යම පළාත් සභාවට තේරී පත්වූ ඔහු මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ මනාප ඡන්ද 62,556ක් ලබාගනිමින්.

එම්. වේලුකුමාර් වසර පහළොවකට පසු මහනුවර දිස්ත්‍රික්කයෙන් තේරී පත්වුණ පළමු දෙමළ ජාතික මන්ත්‍රීවරයායි.

වසර පහළොවක කාලයක් දෙමළ ජාතිකයෙකුට මහනුවර දිස්ත්‍රික්කයෙන් තේරී පත්වීමට නොහැකි වූයේ දෙමළ ජාතිය පමණක් ඉලක්ක කරගනිමින් දේශපාලනය කිරීමෙන් බව පවසන නව මන්ත්‍රීවරයා, තමන් එම සීමාවෙන් මිදී දේශපාලනයේ යෙදුනු බැවින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වීමට හැකි වූ බව වැඩිදුරටත් සඳහන් කළේය.

(බීබීසී සංදේශය ඉදිරිපත් කරන 'නව පාර්ලිමේන්තුවේ කෝඩුකාරයෝ' විශේෂාංයේ තෙවැනි අංකයයි මේ)