ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තාවන් දුසිමක් නැහැ- අගමැති

Image copyright b

පළාත් පාලන මැතිවරණයට පෙර එම ආයතන සඳහා කාන්තා නියෝජනය අවම වශයෙන් 25% තෙක් වැඩි කෙරෙන නීති රීති ගෙන එන බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

අගමැතිවරයා එම ප්‍රකාශය කළේ ශ්‍රී ලංකා මැතිවරණ දෙපාර්තමේන්තුවට වසර හැටක් පිරීම නිමිත්තෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (30)පෙරවරුවේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

රටේ දේශපාලනය තුළ කාන්තා නියෝජනය අඩු වීම ගැන ඉහත කී උත්සවයට සහභාගී වූ බොහෝ දෙනෙක් අදහස් පළ කළහ.

මැතිවරණ කොමසාරිස් මතය

Image copyright b

මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස්වරයාත් කාන්තා නියෝජනය අඩු වීම ගැන අදහස් දැක්වූ අතර එම නියෝජනය වැඩි කිරීම සඳහා ඉක්මන් වැඩපිළිවෙළක අවශ්‍යතාව ඔහු රැස්ව සිටි දේශපාලන හා සිවිල් සමාජ නායකයන් ඉදිරියේ අවධාරණය කළේය.

උත්සවයේ ප්‍රධාන දේශනය කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීමට අවශ්‍ය නීති රීති සම්පාදනයට රජය සුදානම් බවයි.

‘ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 51% ක් කාන්තාවන්.ඒත් මම දන්න විදියට පාර්ලිමේන්තුවේ කාන්තාවන් දුසිමක්වත් නැහැ.මෙය වෙනස් විය යුතුයි ‘අගමැතිවරයා සිය කතාවේ සඳහන් කළේය.

රටේ බහුතරය කාන්තාවන්

පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනා අතර කාන්තාවන් දොළොස් දෙනෙකු විය. මෙවර පාර්ලිමේන්තුවේ එම ගණන විශාල වශයෙන් ඉහළ යනු ඇතැයි බලාපොරොත්තු පළ වෙමින් තිබුණේ කාන්තා නියෝජනය වැඩි කළ යුතු බවට හඬක් නැගෙමින් තිබුණ හෙයිනි.

Image caption කාන්තා උද්ඝෝෂණයක්

එහෙත් මෙවර අගෝස්තු මහමැතිවරණයේ දී කාන්තාවන් 556 දෙනකු තරඟ කළත් පාර්ලිමේන්තුවට ඔවුන් අතරින් තේරී පත්වුණේ එකොලොස් දෙනකු දෙනෙකු පමණි.

ඡන්දයෙන් එකොළහයි

ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රීවරියන් දෙදෙනාත් සමගයි මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන කාන්තාවන් ගණන දහතුනක් බවට පත් වන්නේ.

මේ අතර ලබන මාර්තු මාසයේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට පෙර එම ආයතනවල කාන්තා නියෝජනය 25% දක්වා වැඩිකි රීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සූදානමක් ඇති බවයි අද අගමැතිවරයා අනාවරණය කළේ.

‘සමහරු කියනවා කාලය මදි ,මේක 100% සාර්ථක වෙන්නේ නැහැ කියල. මම කියන්නේ බලා ගෙන හිටියොත් මේක කිසි දිනක සිදු වන්නේ නැහැ. නොවැම්බර් මාසේ වන විට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ට මේ යෝජනාව ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා’අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

දේශපාලන සංස්කෘතිය

Image caption හිරුනිකා සහ චන්ද්‍රිකා

මේ සම්බන්ධයෙන් බිබිසියට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සඳහන් කළේ ‘කාන්තා නියෝජනය වැඩි කිරීමට නම් වර්තමාන දේශපාලන සංස්කෘතියේ වෙනසක්’ අවශ්‍ය බවයි.

පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කළ නවක මන්ත්‍රීවරිය දේශපාලන පවුල්වලින් පමණක් නොව අන් කාන්තාවන්ද දේශපාලනයට ගෙන ඒමට වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි අවධාරණය කළේ.

කාන්තා ක්‍රියාකාරිනියක වන චූලනී කොඩිකාර බිබිසියට අදහස් දක්වමින්, 25% ක නියෝජයක් ලැබෙන්නේ නාම යෝජනා සඳහාද නැත්නම් තේරී පත්වන මන්ත්‍රී සංඛ්‍යාවෙන් ද යන්න තවමත් පැහැදිලි නොමැති බවයි පෙන්වා දෙන්නේ.

තේරී පත්වන මහජන නියෝජිතයන්ගෙන් 25%ක් හෝ 30% ක් කාන්තාවන් විය යුතු බවට නීතියක් ගෙන එන ලෙස සිය සංවිධාන දීර්ඝ කාලයක සිට සටන් කරන බවයි චූලනී කොඩිකාර කියා සිටින්නේ.