ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තාත්තගේ නම විකුණා ගත් ජයග්‍රහණයක් නෙවෙයි - චතුර සේනාරත්න

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වුණු නවක මුහුණු අතරින් කටකාර මන්ත්‍රීවරකු ලෙස චතුර සේනාරත්න හැඳින්විය හැකියි.

රජයේ ප්‍රබල අමාත්‍යවරකු වන රාජිත සේනාරත්නගේ පුත්‍රයා ලෙස චතුර සේනාරත්න දේශපාලනයේ දී බොහෝ දෙනා හඳුනා ගත්තත් ඔහු මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ තම පවුලේ බල කොටුව වන කළුතර දිස්ත්‍රික්කයෙන් නොව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වීම විශේෂත්වයක්.

" මම කැමතියි මාව චතුර විදිහටම හදුනා ගන්නවට. තාත්තා ඇමති කියල පුතා ලොකු මිනිහෙක් වෙන්නෙ නැහැ" ඒ මෙවර මැතිවරණයට ඔහු යොදා ගත් තේමා පටයක්.

පසුගිය ජනාධිපත්වරණයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොදු අපේක්ෂකයා බවට පත් කිරීමට තිරය පිටු පස සාකච්ඡාවල දී චතුර සේනාරත්න විශාල කාර්ය භාරයක් ඉටු කර තිබේ.

ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියන් පිහිටුවා ගන්නා ලද ‘පිවිතුරු හෙටක්’ ජාතික සභාවේ ලේකම්වරයා ඔහුයි.

ඔහු ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංවිධානය නමැති සිවිල් සංවිධානයේ නායකත්වය ද දරයි.

චතුර සේනාරත්නට මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමට අවස්ථාව ලැබෙන්නේ අවසන් මොහොතේදීයි.

ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ජාතික හෙළ උරුමයේ පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමග එක්ව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ බිහි කිරීමත් සමගයි.

පසුගිය සමයේ චතුර සේනාරත්න ජනප්‍රිය වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග බෙලිඅත්තෙන් තරඟ කර ඔහු පරාජයට පත් කරන බවට මැතිවරණයට පෙර ඔහු කළ අභියෝගය නිසායි.

තමන්ට නුහුරු ගම්පහ දිස්ත්‍රික්කයට අවසන් මොහොතේ ගොස් ජයග්‍රහණය කිරීම අනපේක්ෂිත ජයග්‍රහණයක් නොවේදැයි බිබිසිය විමසු විට චතුර සේනාරත්න මන්ත්‍රීවරයා පැවසුවේ එය එසේ නොවන බවයි.