බූන්දල ආගන්තුක කුරුළු පාරාදීසය විනාශයේ අද්දර

Image copyright b

බූන්දල ජාතික උද්‍යානය ජාත්‍යන්තර ‘රැම්සා’ ලේඛනය අනුව ශ්‍රී ලංකාවේ වටිනාම තෙත්බිමක් ලෙස නම් කරනු ලැබ ඇති දුර්ලභ පරිසර කලාපයකි.

එම පරිසර පද්ධතිය අධීක්ෂණය කරන්නකුට මේ වනවිට එහි අන්තරායකාරී තත්වයක් උද්ගතව පවතිනු දක්නට ලැබෙයි.

1984 ලුණුගම් වෙහෙර ව්‍යාපාරය ආරම්භ කරනු ලැබීමත් සමග දකුණු ඉවුර ඇළ මාර්ගයෙන් පෝෂණය වන ගොවිබිම් වලින් ඉවත් කරනු ලබන කෘෂි රසායන අඩංගු අතිරික්ත ජලය කලපු පද්ධතියට එක්වීම නිසා එහි ලවනතාව අඩු වී කරදිය ආශ්‍රිත ජෛව ප්‍රජාවට බලපෑම් එල්ල වීම සහ පරිසර පද්ධතිය තුල සිදු වන තවත් වෙනස් කම් රාශියක් හේතුවෙනුයි බූන්දල ජාතික වනෝද්‍යානය ‘රැම්සා’ සම්මුතිය අනුව අන්තර්ගත විය යුතු පරිසර ලක්ෂණ ඉවත් වීමේ අවදානමකට මුහුණ දී තිබෙන්නේ.

Image copyright b

බූන්දල 1969 වසරේ පටන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති අභය භූමියක් වෙයි.

එම වන ගැබ ජාතික වනෝද්‍යානයක් බවට ප්‍රකාශ කෙරුණේ 1992 වසරේයි.

1996 දී බුන්දල ජාතික වනෝද්‍යානය ශ්‍රිලංකාවේ පළමු අන්තර් ජාතික වටිනාකමක් හිමිකර ගත් තෙත් බිම හැටියට ‘රැම්සා’ ලේඛනයට එක් කරනු ලැබුණි.

බූන්දල ‘රැම්සා’ තෙත්බිම

බුන්දල ජාතික වනෝද්‍යානය ‘රැම්සා’ තෙත් බිමක් ලෙස නිර්දේශ වීම කෙරෙහි විශේෂ පරිසර කරුණු කීපයක් සැලකිල්ලට ගනු ලැබ ඇත.

Image copyright b

ගංමෝය හා ලවණ හැල්වලින් යුත් තෙත්බිම් පරිසර පද්ධතිය සහ ස්වාභාවික කඩොලාන ද එසේම පක්ෂීන්ගේ දුලබ ආහාරයක් වන ‘ආටිමියා ප්ලවාංග’ සහිත ආහාර බිම් පිහිටීම බූන්දලට පක්ෂීන් ආකර්ෂණය වීමට හේතු වෙති.

හෙක්ටයාර් 6200 ක වපසරියකින් සමන්විත බූන්දල ජාතික වනඋයන පිළිබඳව සිදුකර ඇති අධ්‍යයනයන් අනුව පවුල් 47 කට අයත් ශාක විශේෂ 90 ක් දැනට වාර්තා වී ඇත.

බූන්දල වඩාත් ප්‍රචලිතව ඇත්තේ කුරුලු පාරාදීසයක් ලෙසයි.

කුරුළු පාරාදීසය

ලෝකයේ උතුරු අර්ධගෝලයේ සිට දක්ෂිණ ධ්රුවය කරා සැරිසරන පක්ෂීන්ගේ අවසන් නවාතැන් පොළක් වන්නේ බූන්දලයි.

Image copyright b

පක්ෂීන් 20,000 කට අධික ප්‍රමාණයක් ආහාර හා වාසස්ථාන සොයා වර්ෂය පුරා බූන්දලට පැමිණෙති.

කුරුළු ආගන්තුකයෝ

ලංකාවේ වෙසෙන නේවාසික ජලජ පක්ෂීන් සියල්ලම පාහේ දැකිය හැකි මෙම භූමි භාගය තුළ නිරතුරුවම පක්ෂින් 20000 කට වැඩි ප්‍රමාණයක් නිරීක්ෂණය කළ හැක.

මෙහි දැනට කර ඇති පර්යේෂණ අනුව පවුල් 150 කට අයත් පක්ෂි විශේෂ පනස් තුනක් වාර්තා වී ඇත.

මේ අතරින් සංචාරක පක්ෂි විශේෂ පනහක් පමණ දැක ගත හැකි අතර ඉන් පක්ෂි විශේෂ අටක් දුර්ලභවූවෝ වෙති.

වනෝද්‍යානය තුල දැකිය හැකි එකම ආවේණික පක්ෂියා වන්නේ වළිකුකුළාය. මීට අමතරව ජාත්‍යන්තර වශයෙන් වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති පැස්තුඩුවා, දම්සිලු‍ටු දෑතුඩුවා ද බූන්දල දී දැකිය හැක.

Image copyright b

ලංකාවේ විශාලම පක්ෂියා වන බහුරු මානාවා හා ඉතා දුර්ලභ පක්ෂියා වන අලිමානාවා ආදී පක්ෂි විශේෂත් බූන්දල සැරිසරති.

වෙනත් රටවලින් පැමිණෙන නානාවිධ පක්ෂීන්ගේ ද, දේශිය පක්ෂීන්ගේ ද පෝෂක බිමක්, ලැගුම් බිමක්, ආරක්ෂක බිමක් මෙන්ම අභිජනන බිමක් ලෙසින් ද බූන්දල වැදගත්කමක් උසුලයි.

බූන්දල පරිසර විනාශය

ලුණුගම් වෙහෙර ව්‍යාපාරයෙන් පෝෂණය වෙන ගොවි බිම් වලින් ඉවත් කරන කෘෂි රසායන අඩංගු අතිරික්ත ජලය කලපු පද්ධතියට එකතු වීමෙන් ලවනතාව අඩු වී කරදිය ආශ්‍රිත ජෛව ප්‍රජාවට බලපෑම් එල්ල වීම, මළල කලපුවේ සිට මුහුද දක්වා ඇළ මාර්ගයක් ඉදි කිරීම නිසා කලපු මෝය මුහුදට නිරාවරණය නොවීම, මිරිදියේ වැඩෙන ජලජ පැලැටි ව්‍යාප්තවීම, උද්‍යාන මායිමේ ඇති තෙත්බිම් ගොඩ කිරීම හා සංවර්ධනය,අවිධිමත් ධීවර කර්මාන්තය, උද්‍යානය තුළ ඇති ලුණුලේවා වැඩිදුරටත් සංවර්ධනය කිරීම මෙන්ම ආක්‍රමණශීලී ශාක සීග්‍රයෙන් ව්‍යාප්ත වීම වැනි කරුණු රාශියක් බූන්දල තෙත් බිමට එල්ල වෙමින් පවතින තර්ජන වෙති.

Image copyright b

මේ නිසා කුරුළු පාරාදීසයක් වූ බූන්දල ජාතික උද්‍යානයේ සුවය පතන කුරුල්ලන්ගේ අඩුවක් පවතී.

ගත යුතු පියවර

බූන්දල තෙත්බිම රැක ගැනීම උදෙසා ඉක්මනින් ගත යුතුව ඇති පියවරක් වන්නේ සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී බලධාරීන් විසින් අත්තනෝමතිකව ගනු ලබන තීන්දු නතර කිරීමයි.

වාරි යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී තෙත් බිම්වලට හානියක් නොවන ලෙස සැලසුම් කිරීම , කෘෂි රසායන අඩංගු ජලය ඇළ මාර්ගයක් ඔස්සේ කිරිඳීඔයට මුදා හැරීම,උද්‍යානය හා ප්‍රේරක කලාපයේ සංවර්ධන හා සංරක්ෂණ කටයුතු අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව දිගුකාලීනව සැලසුම් කරමින් විධිමත්ව ක්‍රියාත්මක කිරීම,ආක්‍රමණශීලී ශාක සැලසුම් සහගතව ගලවා ඉවත් කිරීම,ධීවර සමිති විධිමත් කිරීම, අනවසර ලෙස තෙත්බිම් ගොඩ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම ආදිය ගැන බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුව ඇත.