ජනපති අපහාසයේ සැකකාර මන්ත්‍රී බන්ධනාගාරයට

Image copyright AFP

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ කාන්තාවක් සම්බන්ධ කරමින් අපහාසාත්මක දැන්වීමක් ෆේස්බුක් වෙබ් අඩවියේ පළ කළ බවට සැක පිට අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරාල බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කරයි.

සැකකාර සුමිත් අතුකෝරාල අද (01) නීතීඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වී තිබුණි.

රහස් පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණය සමයේ එවකට විපක්ෂයේ පොදු අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ මෛත්‍රිපාල සිරිසේන සහ තවත් කාන්තාවක සම්බන්ධ කරමින් අපහාසාත්මක දැන්වීමක් ෆේස් බුක් වෙබ් පිටුවක පළ කර ඇති බවයි.

'පරීක්ෂණවලට බාධා'

එම දැන්වීම අන්තර් ජාලයට මුදා හැර තිබෙන්නේ මෙම සැකකරු විසින් බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව කි රහස් පොලිසිය සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවොත් ඉදිරි පරීක්ෂණවලට බාධා සිදු විය හැකි බව ද ප්‍රකාශ කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා, සැකකරු ලබන 05 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

මෙම චෝදනා ප්‍රතික්ෂේප කල විත්ති පාර්ශවයේ නීතිවේදි අජිත් ප්‍රසන්න, මෙම අත් අඩංගුවට ගැනීම දේශපාලන පලි ගැනීමක් බවයි කියා සිටියේ.

‘සැකකාර සම්පත් අතුකෝරාල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඉතා සමීප ආධාරකරුවෙක්. ඔහු පසුගිය මහ මැතිවරණයේ දී හිටපු ජනපති රාජපක්ෂ අගමැති කරවීමේ සටනේ පෙරමුණ ගෙන සිටි අයෙක්. ඒ නිසා ඔහුගෙන් පලි ගැනීමටයි රහස් පොලිසිය මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබෙන්නේ.’ ඔහු ප්‍රකාශ කළේය.