ඉවත් නොවුනොත් දෝෂාභියෝගයක් -රාජිත

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම පිළිබඳව රජය තුළ සාකච්ඡාවක් සිදු වූ බව රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් කෙටුම්පත් කිරීම ආරම්භ වී ඇති බව පසුගිය සති අන්තයේ මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් රජයෙන් කිසිදු නිල ප්‍රතිචාරයක් පල වී තිබුණේ නැත.

චෝදනා

තම නිවසේ සිටි මෙහෙකාර තරුණියකට පහර දුන් බවට පසුගියදා එක්තරා විනිසුරුවරයෙකුට චෝදනා එල්ල වී තිබුණි.

මේ අතර තුර තවත් විනිසුරුවරියක ගේ ස්වාමි පුරුෂයා විසින් නීති උපදේශන සේවාවක් පවත්වා ගෙන යන බවට මාධ්‍ය වාර්තා පළ විය.

"එක්තරා විනිශ්චයකාරවරයෙක් ඔහුට විරුද්ධව නොයෙකුත් චෝදනා ඇවිල්ල තිබෙනවා, ඒ විනිශ්චයකාරවරයා ඉවත් වෙන්නේ නැත්නම් ඔහුව ඉවත් කිරීමට තියෙන එකම ක්‍රමය තමයි දෝෂාභියෝගය, ඒ ගැන තමයි සාකච්ඡා කළේ" අමාත්‍යවරයා මේ බව පැවසුවේ බිබිසි සංදේශය සමග සාකච්ඡාවකට එක්වෙමින්.

දේශීය පරීක්ෂණය

මෙවන් චෝදනා ඇති විනිසුරුවරුන් සිටින අධිකරණ පද්ධතියකින් යුධ අපරාධ සම්බන්ධයෙන් විශ්වසනීය දේශීය පරීක්ෂණයක් බලාපොරොත්තු විය හැකිදැයි ප්‍රශ්න කල විට අමාත්‍යවරයා පැවසුවේ ඒ සදහා ඉතා හොඳ තෝරා ගත් විනිසුරුවරුන් පත් කිරීමට රජය කටයුතු කරන බවයි.

"අපි ජාත්‍යන්තරයට බොරු කරන්න ලෑස්ති වෙන්නේ නැහැ, අපි ජාත්‍යන්තරය සමග එකතුවී මේ දේ කරනවා, ඒකට අවශ්‍ය උපදෙස් හා තාක්ෂණික ආධාර අපි ඒගොල්ලන්ගෙන් ගන්නවා, ලෝක පිළිගත් අපේ විනිසුරුවරයන් වන විරමන්ත්‍රි වගේ අය ගෙනල්ල අවංකවම මේ පිළිබඳව වන වග විභාගය අපි කරනවා" ඇමතිවරයා පවසයි.

සිංහල අන්තවාදීන් මෙන්ම දෙමළ අන්තවාදීන් ද මෙම යෝජනාවට විරුද්ධ වී ඇති බවයි සේනාරත්න අමාත්‍යවරයා පවසන්නේ.