මන්ත්‍රී පදවියක් නොලද සමසමාජ නායකයා අධිකරණයේ

පසුගිය මහමැතිවරණයෙන් අනතුරුව එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පත් කරන ලද ආකාරයට එරෙහිව ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ ඉදිරිපත් කළ පෙත්සම අද (02) ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාගයට ගැනුණි.

එම ජාතික ලැයිස්තු නියෝජිතයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැටියට නම් කරනු ලැබීමට මැතිවරණ කොමසාරිස්වරයා ගත් තීරණය නීතියට පටහැණි බව කියා සිටින පෙත්සම්කරු එකී මන්ත්‍රීවරුන්ගේ පත් කිරීම් අහෝසි කරන ලෙසයි ඉල්ලා සිටින්නේ.

නඩු විභාගය සඳහා අධිකරණයට පැමිණ සිටි ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කියා සිටියේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමු කරන අවස්ථාවේ අධිකරණය මගින් නිකුත් කළ වාරණ නියෝගයක් මගින් සන්ධානයේ ලේකම් සුසිල් ප්‍රේමජයන්තගේ කටයුතු තහනම් කර තිබුණ බවයි.

සුසිල්ට වාරණයක්

අධිකරණ නියෝගයකින් තහනමකට ලක්ව සිටි පුද්ගලයකු විසින් ඉදිරිපත් කරන ලද නම් ලැයිස්තුවක් භාර ගනිමින් එම නම් ගැසට් පත්‍රයේ පළ කිරීමට මැතිවරණ කොමසාරිස් ගත් තීරණය නීතියට පටහැණි බවයි ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ කියා සිටින්නේ.

මැතිවරණ කොමසාරිස්වරයාගේ එකී පත් කිරීම් නීතියට පටහැණි බැවින් අදාළ පත් කිරීම් අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි මහාචාර්ය විතාරණ අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

තිස්සත් ජාතික ලයිස්තුවේ

Image caption තිස්ස විතාරණට සහ ඩිව් ගුණසේකරට ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවි අහිමි විය.

අදාළ පෙත්සම අද කැඳවූ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ පෙත්සම සලකා බැලීමට ප්‍රථම වගඋත්තරකාර පාර්ශවයේ අදහස් ද විමසිය යුතු බවයි.

ඒ අනුව පෙත්සම සලකා බැලීම ඔක්තෝබර් 16 වෙනි දිනට කල් දැමූ අධිකරණය එදින වගඋත්තරකුවන්ට නොතිසි නිකුත් කරන මෙන් නියෝග කළේය.

අගෝස්තු 17 මහමැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ඉදිරිපත් කරන ලද ජාතික ලැයිස්තුවට මහාචාර්ය තිස්ස විතාරණගේ නමත් ඇතුළත් වුනත් මන්ත්‍රී පදවි ප්‍රදානයේ දී ඔහුට එම අවස්ථාව අහිමි විය.