කෘමි උවදුරු වලින් පොල් වගාවට හානි

ශ්‍රී ලංකාවේ පොල් වගාවට මේ වන විට වැළඳී ඇති රෝග කීපයක් හා කෘමි උවදුරු රැසක් හේතුවෙන් පොල් ගස් ලක්ෂ හතරකට අසන්න ප්‍රමාණයක් විනාශ වී ගොස් ඇති පොල් පර්යේෂණ ආයතනය පවසයි.

පොල් ඉඩම් කට්ටි කර විකිනිමද මෙයට ඇතුළත් බවත් මේ තත්වය පොල් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බවත් පොල් පර්යේෂණ ආයතනය ප්‍රකාශ කරයි.

දකුණේ වැලිගම කොළ මැලවීමේ රෝගය , මයිටා හා කුරුමිණි උවදුරු , කොළ අංගමාරය , දළඹු උවදුරු මේ වන විට ශ්‍රී ලංකාවේ පොල් වගාවට බලපා ඇති බවයි පොල් පර්යේෂණ ආයතනය පවසන්නේ.

පොල් පර්යේෂණ ආයතනයේ වාර්තා වලට අනුව වැලිගම කොළ මැලවීමේ රෝගයෙන් පමණක් රටට අහිමිවූ පොල් ගස් ගණන තුන් ලක්ෂ විසි පන් දහසකි .

මෙම රෝග තත්වය මෙතෙක් දකුණට පමණක් සිමා වී තිබුනද පසුගිය මාසය වන විට මොණරාගල දක්වාද පැතිර ගොස් තිබේ .

කුසීත දළඹුවා

පොල් ත්‍රිකෝණයට අයත් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කීපයකම මේ දිනවල බෝවී යන දළඹු විශේෂ කීපයක් පොල් වගාවට දැඩිව හානි සිදු කර ඇත .

මින් මුන්දලම ප්‍රදේශයේ ව්‍යාප්තව ඇත්තේ කුසීත දළඹුවා බවයි පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත ගුණතිලක ප්‍රකාශ කලේ .

මේ දළඹුවා පොල් කොලය කා දමන අතර ඉරට්ට පමණක් ඉතිරි කරයි .

පොල් දළඹුවා

පොල් වගාවට දැඩි හානියක් කරන පොල් දළඹුවා නමැති කෘමියා මේ වන විට අරචිචිකට්ටුව බංගදෙනිය වෙහෙර කැලේ ප්‍රදේශයේ පොල් වතු කීපයකට බෝවී තිබේ .

පොල් වගා කරුවෙකු වන වෙහෙරකැලේ ගමගේ පියදාසගේ පොල් අක්කර හතකින් ආරම්භ වූ මේ විනාශය ඉතා සීග්‍රයෙන් පැතිර යමින් පවතින බව ප්‍රදේශයේ පොල් වගා කරුවෝ පවසති .

පොල් දළඹුවා සිදු කරන්නේ කොලයේ සාරවත් කොටස කා දැමීමයි. මෙමගින් පොල් කොලය දූඹූරු පැහැ ගැන්වේ .

කුරුමිණි උවදුරු

කළු කුරුමිණියා හා රතු කුරුමිණියා පොල් වගාවට වින කරන ප්‍රධාන කෘමීන් ය .

පොල් ගොවියෙකු වන වෙහෙර කැලේ පදිංචි උපුල් පුෂ්පකුමාර කියා සිටි ලෙස රතු කුරුමිණි හානිය සඳහා පොල් පර්යේෂණ ආයතනය දුන් නිර්දේශ වලින්ද ඵලක් වී නොමැත .

පොල් කදේ මුලින් ඇතුල් වන රතු කුරුමිණියා ගසේ උඩට වන තෙක් සාරය උරා බොන අතර ඉන් පසු පොල් ගස බිමට පතිත වේ.

පොල් අස්වැන්න

පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත ගුණතිලක ප්‍රකාශ කලේ කෙතරම් ගැටළු පැවතියත් රටේ පොල් අස්වැන්න මේ වර්ෂයේ ඉහල ගිය බවයි .

මෙයට ප්‍රධාන හේතුව නිසි වර්ෂාපතනයක් මේ වර්ෂය පුරා ලැබීම බවයි ඔහු පැවසුවේ .