ෆේස්බුක් දැන්වීම් ගැන 'නඩු පවරන්න බෑ'

Image copyright Sudath Silva
Image caption 'ඇප දිය හැකි වරදකට තමා මහේස්ත්‍රාත්වරයා දින පහක් සැකකරු රිමාන්ඩ් භාරයට් පත්කර තිබෙන්නේ. මෙය නීතියට පටහැනියි'

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අපහාස වන ආකාරයේ දැන්වීමක් ෆේස්බුක් අඩවියේ පළකිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනුණු දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරාල රිමාන්ඩ් භාරයට පත්කිරීමේ තීරණය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් ඔහුගේ නීතිවේදී අජිත් ප්‍රසන්න අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කරයි.

ෆේස්බුක් අඩවියේ පළකරන තොරතුරු සම්බන්ධයෙන් නඩු පැවරීමට ශ්‍රී ලංකාව තුල කිසිදු නීතිමය පදනමක් නොමැති බවයි සැකකරුගේ නීතිඥවරයා පවසන්නේ.

එසේ තිබියදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකාර පළාත් සභා නියෝජ්‍ය සභාපතිවරයා දින පහක් රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබුවේ කිසියම් බලපෑමක් නිසාද යන සැකයක් මතුවන බවත් ඔහු පැවසීය.

ඇප මත නිදහස්

"මේක බරපතල තත්වයක්. ඇප දිය හැකි වරදකට තමා මහේස්ත්‍රාත්වරයා දින පහක් සැකකරු රිමාන්ඩ් භාරයට් පත්කර තිබෙන්නේ. මෙය නීතියට පටහැනියි. මේ නිසා මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුව පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් අපි අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කරනවා," නීතිවේදී අජිත් ප්‍රසන්න සඳහන් කළේය.

මෙම චෝදනාව පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටියගේ මතය විමසීමට දැරූ උත්සාහය සාර්ථක නොවීය.

Image caption ජනාධිපතිවරයා සහ කාන්තාවක් සම්බන්ධ කරගනිමින් අසත්‍ය දැන්වීමක් ෆේස්බුක් අඩවියේ පළ කළ බවට පළාත් සභා මන්ත්‍රීවරයාට චෝදනා

මේ අතර රිමාන්ඩ් භාරයට පත්කර සිටි සම්පත් අතුකෝරාල ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

ඇප මත නිදහස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සම්පත් අතුකෝරාල පළාත් සභා මන්ත්‍රීවරයා, පොලිසියේ මෙම ක්‍රියා පිළිවෙත තුලින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට විශාල තර්ජයක් එල්ල වී ඇති බව සඳහන් කළේය.

"අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස් ගැන යහපාලන නායකයින් විශාල ලෙස කතා කළා. එහෙත් මෙම ක්‍රියාමාර්ගය තුලින් අප ජනතාව වෙනුවෙන් සිදුකල අරගලය යටපත් කරන්න බැහැ."

පසුගිය ජනාධිපතිවරණය සමයේ එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සහ කාන්තාවක් සම්බන්ධ කරගනිමින් අසත්‍ය දැන්වීමක් ෆේස්බුක් අඩවියේ පළ කළ බවට චෝදනා කරමින් රහස් පොලිසිය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණ.

වැඩිදුර නඩු විභාගය ලබන දෙසැම්බර් මස 14 වැනිදා දක්වා කල් තැබිණ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර