ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සාධනීය වෙනසට ඌව සතුටුයි - නවක මන්ත්‍රී චමින්ද

පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ඇමති ධුර ලබා දීම සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට කලකිරීමක් නොමැති වුනත් ඔවුන් එම තනතුරු බාර ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් කලකිරීමකින් සිටින බව එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ප්‍රකාශ කරයි.

පාර්ලිමේන්තුවේ නවක මුහුණු හඳුන්වා දීමේ බීබීසී සිංහල සේවයේ විශේෂාංගයට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මෙම අදහස් පල කලේ.

සාධනීය වෙනස

ජාතික ආණ්ඩුවක් තුළින් රට තුළ වර්තමානයේ ඇති කරමින් යන සාධනීය වෙනස සහ එම වෙනසට උර දුන් බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් ඉතා සතුටට පත්ව ඇති බවයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ.

" අපේ පාක්ෂිකයෝ කලකිරිලා නැහැ, මේ ජාතික ආණ්ඩුවක් ගොඩ නගලා, ඒ වැඩපිළිවෙළ රටේ ජනතාවට භුක්ති විදින්න ලැබෙන්නේ ඌව පළාතේ ජනතාව නිසා කියල එක්සත් ජාතික පාක්ෂිකයෝ ගොඩක් සතුටින් ඉන්නේ"

මෙවර ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මින් පෙර බණ්ඩාරවෙල මහා නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි අයෙක්.

බණ්ඩාරවෙල ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහ මැතිවරණයට තරඟ කළ ඔහු මනාප 58,291 ලබා ගනිමින් මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් විය.