ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විමල්ල නැතුව තනියෙන් දිනන්න බැහැ - නවක මන්ත්‍රී කංචන

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සෙසු පාර්ශව කාර පක්ෂ නොමැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තනි ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි බව මාතර දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර ප්‍රකාශ කරයි.

එම පක්ෂවලටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන්ද නොමැතිව ජයග්‍රහණය කළ නොහැකි බවයි ඔහු පවසන්නේ.

පාර්ශව කාර පක්ෂ

පාර්ලිමේන්තුවේ නවක මුහුණු හඳුන්වා දීමේ බීබීසී සිංහල සේවයේ විශේෂාංගයට එක් වෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශව කාර පක්ෂ එකතු කර ගෙන ඉදිරියට යාමේ වැදගත්කම ගැන ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි.

" විමල් විරවංශ මන්ත්‍රී තුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජන්ද අවශ්‍ය වෙනවා වගේම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඒ සන්ධානයේ සෙසු පක්ෂවල ඡන්ද වැදගත් වෙනවා ආණ්ඩුවක් පිහිටුවීමේදී,"ඔහු ප්‍රකාශ කරන්නේය.

ජාතික ආණ්ඩුව

ජාතික ආණ්ඩුවට එක් නොවුයේ ඇයි දැයි විමසීමේදී මන්ත්‍රීවරයා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඡන්දය ලබා දුන්නේ ජාතික ආණ්ඩුවට එක්වීමට නොවන බව, ජාතික ආණ්ඩුවට එක්ව සිටි අමාත්‍යවරුන් තුන් දෙනෙකු මාතරින් පරාජය කිරීමෙන් පෙනී යන බවයි.

කංචන විජේසේකර හිටපු අමාත්‍ය මහින්ද විජේසේකරගේ පුත්‍රයායි.

හිටපු අමාත්‍යවරයා බෝම්බ ප්‍රහාරයකින් තුවාල වී රෝගතුර වී දේශපාලනයෙන් ඉවත් වීම හේතු වෙනුයි, 2009 වසරේ කංචන විජේසේකර දේශපාලනයට පිවිසෙන්නේ.

පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස දෙවරක් කටයුතු කිරීමෙන් අනතුරව මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන කංචන විජේසේකර මනාප 83,278 ක් ලබාගෙන පාර්ලිමේන්තුවට තේරී පත් විය.