ඥානසාර හිමිට වරෙන්තු

Image caption ශුද්ධ වූ කුරානයට අපහාස කිරීම සහ ජාතික බල සේනා සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවකට කඩා වැදී බාධා කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ගලගොඩ ඇත්තේ ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව පොලිසිය නඩු පවරා තිබේ

නඩු විභාගයකට පෙනී නොසිටීම හේතුවෙන් බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කරයි.

ශුද්ධ වූ කුරානයට අපහාස කිරීම සහ ජාතික බල සේනා සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවකට කඩා වැදී බාධා කිරීම යන චෝදනා සම්බන්ධයෙන් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් හය දෙනෙකුට එරෙහිව පොලිසිය නඩු පවරා තිබේ.

අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී ඥානසාර හිමියන් ඇතුළු සැකකරුවන් තිදෙනෙක් අධිකරණයේ පෙනී නොසිටියහ.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඥානසාර හිමියන් ඇතුළු සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා පොලිසිය වෙත වරෙන්තු නිකුත් කළේය.

පොලිසිය අධිකරණයට දැනුම් දී සිටියේ සිද්ධියට සම්බන්ධ වීඩියෝ පට පරීක්ෂණ සඳහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිබුනද එහි වාර්තාව මෙතෙක් ලැබී නොමැති බවයි.

පොලිසියේ ප්‍රකාශයට පැමිණිලි පාර්ශවයේ නීතිවේදී මෛත්‍රී ගුණරත්න විරෝධය පළ කර සිටියේය.

‘අදාළ වීඩියෝ පට මොරටුව විශ්වවිද්‍යාලය වෙත යොමු කර වසරකට වැඩි කාලයක් ගතවී තිබෙනවා. එහි වාර්තා මෙතෙක් ලැබී නොමැති නම් ඒ ගැන පොලිසිය සොයා බලා අවශ්‍ය පියවර ගත යුතුයි’ නීතිවේදී ගුණරතන ප්‍රකාශ කළේය.

අනතුරුව නඩු විභාගය නොවැම්බර මස 09 වනදාට කල් තැබූ අධිකරණය එදිනට අදාළ පරීක්ෂණ වාර්තාද ලබාගෙන සැකකරුවන්ට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග කළේය.