කොන්ඩයාගේ සහෝදරයාගේ DNA සැසඳෙයි

කොටදෙණියාව සේයා සඳෙව්මි දැරිය දූෂණය කොට ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන සිටි සමන් ජයලත්ගේ DNA වාර්තාව දැරියගේ ශරීරයෙන් සොයා ගත් ද්‍රව්‍යවල DNA වාර්තාව සමග සැසඳෙන බව මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන්පතිරණ අද (14) ප්‍රකාශ කළේය.

සමන් ජයලත් ඉහත කී දැරිය දූෂණය කොට මරා දමනු ලැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසු වෙන දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් ‘කොණ්ඩයාගේ’ සහෝදරයායි.

සමන් ජයලත් යන අයගේ සහ දැරියගේ පියාගේ DNA සාම්පල්වල වාර්තා අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා උසාවියේ දී එම ප්‍රකාශය සිදුකළේ.

Image copyright Prasad Purnimal Jayamanne

DNA පරීක්ෂණය සිදු කරන ලද්දේ බොරැල්ලේ ජින්ටෙක් ආයතනය විසිනි.

නොමඟ යැවීමක්

සේයා සඳෙව්මි දැරිය ඝාතනයට මුලින් අත්අඩංගුවට ගෙන සිටි දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් ‘කොණ්ඩයා’ දැරිය ඝාතනය කළේ තමන් යැයි පොලිසියට ප්‍රකාශයක් කර තිබුණ නමුත් ඔහුගේ ඩීඑන්ඒ වාර්තාව දැරියගේ ශරීරයෙන් සොයා ගත් ද්‍රව්‍යවල DNA වාර්තාව සමග සැසඳෙන්නේ නැති බවයි පසුගිය දා අධිකරණය ඉදිරියේ තහවුරු කෙරුණේ.

Image copyright Prasad Purnimal Jayamanne

අපරාධය පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමේ මතය වී තිබුණේ ඝාතනය සිදු කළේ තමන් යැයි පොලිසියට ප්‍රකාශයක් කර එමගින් පරීක්ෂණ නොමග යවා සිය සොහොයුරා ආරක්ෂා කිරීම කොණ්ඩයාගේ උත්සාහය වූ බවයි.

දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් කොණ්ඩයා සඳෙව්මි දැරිය ඝාතනයට සම්බන්ධ බවට මුලින් ම පොලිසියට තොරතුරු ලබා දෙන ලද්දේත් අද DNA වාර්තා සැසඳුන සමන් ජයලත් නමැති ඔහුගේ සොහොයුරා බවත් පොලිසිය පවසයි.