ජනාධිපතිවරණ ප්‍රචාරණයට අපේක්ෂකයා සම්බන්ධ නැහැ - මහින්ද

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදු කරණ ලද්දේ පක්ෂය විසින් පත් කළ කමිටුවක් මගින් බවත් ඊට අපේක්ෂකයාගේ සම්බන්ධයක් නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි.

ඔහු එසේ කියා සිටියේ බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම මගින් සිදු කෙරෙන විමර්ශනයක දී සාක්ෂි දීමට අද පැමිණ සිටි අවස්ථාවේ දී ජන මාධ්‍ය අමතමින්.

එම විමර්ශනය පැවැත්වෙන්නේ පසුගිය ජනාධිපතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ හිටපු ජනාධිපතිවරයාගේ දැන්වීම් සඳහා අය විය යුතු රුපියල් මිලියන 200 කට අධික මුදලක් නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

කෙසේවෙතත් කොමිසම විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අද ප්‍රශ්න කිරීමට ලක් නොකෙරිණ.

ලබන 29 වැනිදා යළි ඔහු කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

Image copyright AFP

තම නීතිඥයන් ඉදිරිපත් කළ මූලික විරෝධතා බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම විසින් ප්‍රතික්ෂේප කළ බව මාධ්‍යයට පැවසූ හිටපු ජනාධිපතිවරයා , ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට යාමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.

එක්සත් ජනතා සන්ධානයේ හිටපු මහ ලේකම් සහ හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම් ජයන්ත් සාක්ෂි දීම සඳහා පැමිණි සිටි බව ඔහු පැවසූවේය.

“එතුමා කිව්වා ප්‍රචාරණ කටයුතු කරන්නේ, ප්‍රචාරණ සමාගම් විසින් තමයි ප්‍රචාරණ ගිවිසුම් ගහන්නේ. පක්ෂයේ ප්‍රචාරණ කමිටුවක් පත් කරනවා, මාධ්‍ය කොමිටියක්. ඒකේ ඩලස් අලහප්පෙරුම මැතිතුමා තමයි ප්‍රදානව කටයුතු කළේ, ” යනුවෙන් සුසිල් ප්‍රේම්ජයන්ත් හිටපු ඇමතිවරයා කොමිසම හමුවේ කියා සිටි බවයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ඒ සම්බන්ධයෙන් අපේක්ෂකයා කිසිවකට සම්බන්ධ නොවන බවයි ඔහු පැවසුවේ.

තමන් මේ කරුණු ප්‍රකාශ කළත් මාධ්‍ය මගින් ඒවා පල නොකරන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ඒ නිසා ජන මාධ්‍ය සමඟ කතා නොකර සිටීම වැදගත් බව තවදුරටත් පැවසුවේය.