අරියාලෙයි මිනිස් අස්ථි පිළිබඳ පරීක්ෂණ

'අරියාලෙයි' නෙන්ඩුකුලම් ප්‍රදේශයේ පාලු ඉඩමක තිබී මිනිස් අස්ථි කොටස් කීපයක් හමු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

එම අස්ථි කොටස් යාපනය දිසාවිනිසුරුවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව අදාළ පරීක්ෂණ කටයුතු පවත්වා අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරණ මෙන් නියෝග කළ බවත් පොලිසිය සඳහන් කරයි.

මිනිස් අස්ථි කොටස් පිළිබඳව පොලිසියට පැමිණිලි කොට ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් බව පොලිසිය පවසයි.

සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මන්ත්‍රීවරයාගෙන් ඒ පිළිබදව විමසූ විට ඔහු කියා සිටියේ පළාතේ වැසියෙකු තමන්ට ලබා දුන් තොරතුරක් මත එහි ගොස් බලන විට මිනිස් අස්ථි කොටස් දුටු බවයි.

වර්ග කීපයක සෙරෙප්පු පනාවක් සහ කාන්තා ඇදුම් වල කොටස් එම අස්ථි කොටස් සමග තිබූ බැවින් මියගොස් ඇත්තේ කාන්තාවන් බව ඉතා පැහැදිලි යැයි කී හිටපු මන්ත්‍රීවරයා යම්කිසි පිරිසක් විසින් කාන්තාවන් ඝාතනය කොට මෙම ස්ථානයට ගෙනැවිත් වළ දමන්නට ඇතැයි විශ්වාස කරණ බවයි කියා සිටියේ.

අරියාලේ දී හමු වූ අස්ථි කොටස් පුද්ගලයින් කීදෙනෙකුට අයත් ඒවාදැයි පැහැදිලිව ප්‍රකාශ කිරීමට හිටපු පොලීසිය අසමත් වුණි.

යාපනය පොලිසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ.

ප්‍රචාරක පුවරු සොරකමක්

යාපනය - මහනුවර ඒ-09 මාර්ගය දෙපස සවි කෙරුණ ප්‍රචාරක පුවරු ගලවා යකඩ බවට පත් කරමින් සිටි යුද හමුදා භටයින් අට දෙනෙක් චාවකච්චේරි පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අද (17)දා චාවකච්චේරි දිසා විනිසුරුවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුණි.

යාපනයේ සවි කොට ඇති ප්‍රචාරක පුවරු අතුරුදහන් වන බවට පොලිසියට ලැබුණු පැමිණිලි අනුව රාත්‍රි කාලයේ එහි සැඟවී සිටි පොලිස් නිලධාරීන් කණ්ඩායමකට වාහනයකින් පැමිණ ප්‍රචාරක පුවරු ගලවා කපා යකඩ බවට පත් කරමින් සිටි පුද්ගලයන් අට දෙනෙකු අත් අඩංගුවට ගැනීමට හැකි වූ අතර ඔවුන් යුද හමුදා භටයන් වන බව හඳුනා ගත හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටින්නේ.

අත් අඩංගුවට ගත් යාපනයේ හය වන සංඥා බලකායට අයත් හමුදා භටයින් අට දෙනා චාවකච්චෙරිය දිසාවිනිසුරුවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එක් අයෙකුට රුපියල් 50,000 වන බැගින් ශරීර ඇප මත නිදහස් කොට ලබන 29 වෙනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරනු ලැබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩු විභාගය ලබන 29 වෙනිදා පවැත්වෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කරයි.