හරි පුදුම ඉස්කෝලෙන් සමුගෙන ගිය ලීලානන්ද ගමාච්චි

Image copyright Lanka News Web

හරි පුදුම ඉස්කෝලෙන් ළමා වැඩිහිටි භේදයකින් තොරව ශ්‍රී ලාංකික පාඨකයාගේ මුවගට මදහසක් නැංවූ ලීලානන්ද ගමාච්චි නම් අධ්‍යාපනවේදී කතුවරයා පසුගිය සිකුරාදා සිය ජීවිත ගමනෙන් නික්ම ගියේ හැත්තෑ නම වැනි මංසල පසු කරමින්.

1936 ඔක්තෝබර් මස තුන් වැනිදා ගාල්ලේ තල්පේ පත්තුවේ තෙල්ලඹුරේ ගමේ උපත ලද ලීලානන්ද ගමාච්චි සිය පවුලේ තුන්වැන්නායි.

ලීලානන්ද1942 තෙල්ලඹුරේ දුටුගැමුණු මහා විද්‍යාලයට ඇතුල් වන්නේ අධ්‍යාපනය සිය ජීවිතයේ ආලෝකය කර ගනිමිනි.

සිංහල සාහිත්‍ය කෙරෙහි දැඩි ඇල්මකින් පසුවන තරුණ ලීලානන්ද සිය සාමාන්‍ය පෙළ විභාගය ඉතා උසස් අයුරින් සමත් වෙමින් සිය සාහිත්‍යාචාර්ය උපාධිය ලබා ගැනීමට විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළු වුනේ 1953 දීයි.

පාසල් දිවියේ දී තමන්ට නිසි මග පෙන්වමින් ගුරු හරු කම් ලබා දුන් කේ ඩී දි අල්විස් ගුරුතුමා සිය ජීවිතයේ ආදර්ශමත් චරිතය කර ගනිමින් ඔහු ඉගැන්වීම කෙරෙහි දැඩි ඇල්මක් ඇති කර ගනියි.

ජීවිතයේ ආලෝකය

ඉගැන්වීම සිය ජීවිකාව ලෙස තෝරා ගත් ලීලානන්ද ගමාච්චි ගුරු විද්‍යාලයට ප්‍රවිෂ්ට වීමේ විභාගයට පෙනී සිටි අතර එවර විභාගයෙන් ලංකාවේ දෙවන ස්ථානයට ඉහලම ප්‍රතිඵල ලබා ගැනීමට සමත් විය.

ගුරුවරයෙකු ලෙස සිය ජීවන වෘත්තීය ආරම්භ කරමින් පසුව පාසල් ගණනාවක විදුහල්පති ධුරය දැරූ ඔහු සිය අධ්‍යාපනය නොනවත්වා කර ගෙන යාමට සෑම විටම කටයුතු කළේ තරඟකාරී ලෝකයක පෞරුෂය වර්ධනයට ඉඩක් නැති වුවත් දැනුමට සැමදා නිසි ස්ථානයක් ලැබෙන බවත් දැනුම එක් රැස් කිරීම උතුම් බවත් පවසමින්.

1966 දී කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් සිය කලා උපාධිය නිම කළ ලීලානන්ද ගමාච්චි 1966 දී ඔහු සමග එකට ඉගැන්වීම් කළ ගුරුවරියක වූ ලීලාවතී සූරියආරච්චි සමග විවාහ දිවියට පිවිසෙයි.

විදුහල්පතිවරයෙකු ලෙස සිය සේවය දිගින් දිගටම ලබා දෙන අතර ගුරුවරුන්ට අධ්‍යාපන විධික්‍රම සහ දුරස්ථ අධ්‍යාපනය පිළිබඳ මග පෙන්වීමට ඔහු ග්‍රන්ථ කිහිපයක් ලිවීමට සිය කාලය වැය කරන්නේ අධ්‍යාපනයේ වටිනාකම නැවත නැවතත් ඉස්මතු කරමින්.

1983 ශ්‍රී ලංකා අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය ආරම්භ කරමින් දෙස් විදෙස් අධ්‍යාපන සමුළු වලට සහභාගී වෙමින් ශ්‍රී ලංකාව නියෝජනය කළ ලීලානන්ද ගමාච්චි 1991 දී අධ්‍යාපන තාක්ෂණය ග්‍රන්ථය පල කරයි.

හරි පුදුම ඉස්කෝලය

හතළිස් වසරක් ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයට මිල කළ නොහැකි සේවාවක් ඉටු කළ මොහු 1996 දී රාජ්‍ය සේවයෙන් සමු ගත්තේය.

විශ්‍රාම ගියත් 1997 සිට අවසන් ගමන් යන තුරු ස්වාධීන ලේඛකයෙකු ලෙස සමාජයට සිය දායකත්වය සැපයූ ලීලානන්ද ගමාච්චි වසර විස්සකට ආසන්න කාලයක් ග්‍රන්ථ එකසිය දොළහකට අධික ප්‍රමාණයක් ශ්‍රී ලාංකීය පාඨකයා වෙත ලබා දෙන්නේ වැඩිහිටි, තරුණ ළමා භේදයකින් තොර වීම විශේෂයක්.

දරුවන්ගේ මනසේ වීරයන් මවමින් ඔවුන්ගේ චරිත ලක්ෂණ ප්‍රවර්ධනයට උපක්‍රමශීලී අයුරින් උපකාර කෙරෙන ළමා පොත් රැසක් පරිවර්තනය කිරීමට ඔහු සිය කාලය කැප කළේය.

ඇමරිකානු ජාතික විද්වතෙකු වූ ෆ්‍රැන්ක්ලින් ඩික්සන් ගේ රහස් පරීක්ෂක සහෝදරයන් දෙදෙනෙකු වටා ගෙතුණු යොවුන් නවකතා මාලාව තරුණ වීරයෝ නමින් පරිවර්තනය කළ ලීලානන්ද ගමාච්චිගේ පුංචි වීරයෝ පරිවර්තන මාලාව දරුවන් අතර ඉතා ජනප්‍රියත්වයට පත් තවත් පොත් එකතුවක්.

බෞද්ධ දර්ශනය, සමාජ ජීවිතය, ඉගැන්වීමේ විධික්‍රම සහ මනෝ විද්‍යාත්මක විශ්ලේෂණ වැඩිහිටි පාඨකයා වෙත ගෙන ඒමටත් ලීලානන්දගේ කාලය වෙන් විය. දරුවන් මෙන්ම වැඩිහිටියන්ද අපූරු ලෝකයකට කැඳවාගෙන යාමට ලීලානන්ද ගමච්චි සමත් වන්නේ ‘ටෝට්ටෝ චන්’ නමැති කුඩා දඟකාර ජපන් දැරියගේ හපන් කම් ඇතුළත් ‘හරි පුදුම ඉස්කෝලේ’ පරිවර්තනයත් සමගයි.

අවසන් ගමන්

ජපන් ජාතික ටෙට්සුකෝ කුරෝයනගී අතින් ලියැවුන ටෝට්ටෝ චන් ‘the little girl at the window’ නමින් ඉංග්‍රීසියට පරිවර්තනය කෙරුණු අතර මෙම ප්‍රසිද්ධ ග්‍රන්ථය සිංහලට පරිවර්තනය කලේ ලීලානන්ද ගමාච්චි විසිනි.

හුදෙක් පරිවර්තනයක් ලෙස නොව අධ්‍යාපන විධික්‍රමයන්, ළමා මනෝ විද්‍යාව, වැනි විෂයයන් ප්‍රගුණ කිරීමෙන් ලත් සිය අත්දැකීම් වලින් උද්දීපනය වූ ලීලානන්ද ‘ටෝට්ටෝ චන්’ ‘හරි පුදුම ඉස්කෝලය’ ලෙස ඉදිරිපත් කරන්නේ සිය හදවතට සමීපව දැනුණු ඒ කුඩා දැරියගේ චරිතයට සිංහල බසින් පණ පොවමින් මනෝ චිත්‍රයක් මැවෙන ආකාරයටයි.

ඉතා සරල බසක් යොදා ගෙන කුඩා දරුවන්ගේ පාටක සිත් වලට ඇතුළු වන ගමාච්චි වැඩිහිටියන් වෙත සිය පරිවර්තනය ගෙන යන්නේ ඉතා පැහැදිලි ලෙස දරුවන්ගේ කුඩා ලෝකය තේරුම් ගත හැකිවන අයුරින් ටෝට්ටෝ චන් දැරියව අගයමිනි.

සිය ජීවිතයේ අරුත අධ්‍යාපනය සහ ලේඛන කලාවෙන් පුරවා ගත් ලීලානන්ද ගමාච්චි අවසන් ගමන් යන්නේ සිය දැනුම ලාංකීය පාඨකයා වෙත දායාද කිරීමට ගත් නොනිමි උත්සාහයේ ප්‍රතිඵල ඉතිරි කරමිනි.