ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ක්‍රෝධය වපුරන ප්‍රකාශ තහනමට නීති

ශ්‍රී ලංකාවේ කාලීන අවශ්‍යතාවන් අනුව අලුත් නීති රීති ගණනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කොට ඇති බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කරයි.

එසේම පවත්නා නීති රැසක්ද සංශෝධනය කිරීමට සැලසුම් කර ඇති බවත්, ශ්‍රී ලංකා නීති කොමිසන් සභාව විසින් එම සංශෝධන දැනටමත් තමන් වෙත ඉදිරිපත් කොට ඇති බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ක්‍රෝධය දනවන ප්‍රකාශ

සමාජ වෙබ් අඩවි මගින් සිදු කෙරෙන අවභාවිතයන්, විශේෂයෙන් වෙබ් අඩවි හරහා පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට අහිතකර ලෙස බලපාන ආකාරයේ ප්‍රකාශන අපරාධ නීතිය යටතේ වරදක් කිරීම සඳහා නීති සැලසුම් කොට ඇති බවයි ඔහු පැවසුවේ.

ජන කොටස් අතර වෛරය ක්‍රෝධය දන්වන ආකාරයෙන් කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් පියවර ගැනීමට හැකි වන සේ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කෙරෙන බවත් අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ලිංගික ශ්‍රමිකයින්

ලිංගික සේවයේ නිරතව සිටින කාන්තාවන්, ලිංගික ශ්‍රමිකයින් මුහුණ පාන ගැටලු වලට විසඳුමක් ලබා දෙන ලෙසත් ඔවුන්ගේ ගේ අයිතීන් තහවුරු කරණ ලෙස ඉල්ලා සිටින බවත් පෙන්වා දුන් විට ඇමතිවරයා පැවසුවේ තවමත් ඒ පිළිබඳව රජයේ අවධානය යොමුවී නැති බවයි.

එය නීතිය මතම සිදු කළ යුත්තක් ලෙස තමන් විශ්වාශ නොකරන බව පැවසූ ඔහු ආගමික,සංස්කෘතික වශයෙන් මෙන්ම ජනමතයද සොයා බැලීමෙන් පසු ඒ පිලිබඳව තීරනයකට ඒම සුදුසු බවයි කියා සිටියේ.