රවිරාජ් ඝාතනය: සැකකරුවෙක් සාක්ෂිකරුවෙකු වෙයි

Image copyright AFP

රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට අත් අඩංගුවට ගත් නාවික සෙබළෙකු රජයේ සාක්ෂිකරුවකු කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බව රහස් පොලිසිය පවසයි.

අදාළ නඩුව අද (20) කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය කියා සිටියේ මෙහි සැකකරුවන්ට එරෙහිව චෝදනා පත්‍ර ඉදිරිපත් කරන මෙන් නීතිපතිවරයා උපදෙස් දී ඇති බවයි.

රවිරාජ් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති නාවික සෙබළුන් හය දෙනෙකු මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Image copyright AFP
Image caption වෙඩි තැබීමේ සිද්ධිය සැළ වී කම්පාවට පත් වූ රවිරාජ් මන්ත්‍රීවරයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා

නොවැම්බර් මස 03 වනදා නැවත පැමිණිල්ල කැඳවීමට නියම කළ අධිකරණය එදිනට සැකකරුවන්ට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන මෙන් රහස් පොලිසියට නියම කළේය.

කොළඹ නාරාහේන්පිට යුධ හමුදා රෝහල ඉදිරිපිට දී රවිරාජ් මන්ත්‍රීවරයා වෙඩි තබා මරා දමා තිබුණේ 2006 වසරේ දීයි.

එම ඝාතනය සඳහා යොදා ගත් බව කියන ගිනි අවියක් සහ ත්‍රීරෝද රථයක් සොයා ගෙන ඇති බවද රහස් පොලිසිය කියා සිටියේය.