දිනේෂ් සෙංකෝලය උස්සයි

Image copyright EPA

පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී සෙංකෝලය රැගෙන යෑමට උත්සාහ දැරීමේ සිද්ධියක් නිසා අද, බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් හට ගැණින.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව, උදලාගම වාර්තාව හා පරණගම වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුව විවාදය පැවැත්වෙමින් තිබිණ.

මහින්ද සමරසිංහ අමාත්‍යවරයා සභාව ඇමතීමෙන් පසු ඩී.ඇම්.ස්වාමිනාදන් අමාත්‍යවරයාට අදහස් පල කරන ලෙස පාර්ලිමේන්තුවේ මූලාසනය දරු මුජිබුර් රහමන් මන්ත්‍රීවරයා ආරාධනා කළ අතර එහිදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා විමල් වීරවංශ මන්ත්‍රීවරයාට සභාව ඇමතීමට අවස්ථාව ලබා දිය යුතු බව කියා සිටියේය.

මූලාසනයේ සිටි මුජිබර් රහුමන් මන්ත්‍රීවරයා සඳහන් කළේ තමාට ලැබුණු ලැයිස්තුව අනුව කථා කිරීමේ අවස්ථාව ලබා දෙන බවයි.

කෑ කෝ ගැසීම්

එම අවස්ථාවෙදී විපක්ෂ මන්ත්‍රීවරු කෑ කෝ ගසමින් ඊට විරෝධය පළ කළහ.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සෙංකෝලය රැගෙන යෑමට උත්සාහ කළ අතර නියෝජ්‍ය වේත්‍රධාරීවරයා සභාව මැදට ගොස් සෙන්කෝලය යළි ගුණවර්ධන මන්ත්‍රීවරයාගෙන් ලබා ගැනීමට කටයුතු කළේය.

තත්වය පාලනය කිරීමට නොහැකිවීම නිසා මූලාසනයේ සිටි මුජිබර් රහුමන් මන්ත්‍රීවරයා සභාව විනාඩි 10 කට අත්හිටුවිමට තීරණය කළේය.

සභාව යළි ආරම්භවීමෙන් පසු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සිය කනගාටුව පළ කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව, උදලාගම වාර්තාව හා පරණගම වාර්තාව පිළිබඳව අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුවේ යුද්ධයෙන් පසු මෙම ගැටළු විසඳීමට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කටයුතු නොකිරීම නිසා අභ්‍යන්තර ප්‍රශ්නයක් ජාත්‍යන්තරයට ගිය බවයි.

මෙහිදී විජේදාස රාජපක්ෂ අමත්‍යවරයා හා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා අතර උණුසුම් කතාබහක් ඇති විය.

ජනමත විචාරණයක්

වේගවත් කතාවක් කළ විමල් විරවංශ මන්ත්‍රීවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වුනු යෝජනාව ක්‍රියාත්මක කල යුත්තේ ජනමත විචාරණයකින් අනතුරුව බව ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් අදහස් දැක්වූ විජිත හේරත් මන්ත්‍රීවරයා යුද්ධයෙන් පිඩාවට පත් වූවන්ට යුක්තිය ඉටු කිරීම පිණිස දේශීය යාන්ත්‍රණයක් පිහිටුවිය යුතු වුවත් ඒ සඳහා ජාත්‍යන්තර විනිසුරුවරුවන් සහභාගී කර ගත යුතු නැති බවයි පැවසුවේ.

මෙම ප්‍රශ්නය මූලික කර ගනිමින් විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් සහ ආණ්ඩුව දේශපාලන වාසි ගැනීමට උත්සහ කරන බවටද විජිත හේරත් මන්ත්‍රීවරයා චෝදනා කළේය.

විවාදය හෙට දෙවැනි දිනයෙත් පැවැත්වීමට නියමිතයි.