මළ සිරුර තාජුදින්ගේ බව තහවුරු කිරීමට ඩීඑන්ඒ පරීක්ෂණයක්

ඉකුත්දා ගොඩ ගන්නා ලද මළ සිරුර සිරුර මිය ගිය රග්බි ක්‍රීඩක වසීම් තාජුදින්ගේද යන්න නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා ඩීඑන්ඒ පරීක්ෂණයක් පැවැත්වීමට තිරය කෙරේ.

මේ බව අද, බ්‍රහස්පතින්දා රහස් පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලදී.

අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී කරුණු දැක්වූ රහස් පොලිසිය කියා සිටියේ මෙම පරීක්ෂණය සඳහා වසීම් තාජුදීන්ගේ මවගේ ලේ සාම්පල ලබාගෙන පරීක්ෂණයට යොමු කර ඇති බවයි.

එම පරීක්ෂණ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව කියා සිටි රහස් පොලිසිය මෙම සැක කටයුතු මරණයට අදාලව පුද්ගලයින් 31 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවද කියා සිටියේය.

ඊට අමතරව අංශ ගණනාවකින් පරීක්ෂණ පවත්වන බව කී රහස් පොලිසිය, පරීක්ෂණ අවසන් කොට සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවයි කියා සිටියේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් කියා සිටියේ යුක්තිය නොපමාව ඉටු වීම අත්‍යවශ්‍ය කරුණක් බවයි.

මහජනයාද බලාපොරොත්තු වන්නේ එය බව කියා සිටි මහේස්ත්‍රාත්වරයා පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් දෙසැම්බර් මස 10 වන දා ඉදිරිපත් කරන මෙන් රහස් පොලිසියට නියම කළේය.