දෙමළ සිරකරුවන්ට ඇප නැහැ

Image copyright Getty
Image caption ත්‍රස්ත මර්දන කාර්යාංශය කියා සිටියේ මෙම සැකකරුවන්ට අදාළ පරීක්ෂණ අවසන් කොට සියලු වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි

නීතිපතිවරයාගේ උපදෙස්වලින් තොරව, ත්‍රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවේ පසු වන දෙමළ සිරකරුවන් ඇප මත නිදහස් කිරීමට තමාට බලයක් නොමැති බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කරයි.

ඉහත කී පනත යටතේ රිමාන්ඩ් භාරයේ පසු වන දෙමළ සිරකරුවන් 17 දෙනකු අද බදාදා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන් ඇප මත මුදා හරින මෙන් විත්තියේ නීතිවේදීහු ඉල්ලා සිටියහ.

ත්‍රස්ත මර්දන කාර්යාංශය කියා සිටියේ මෙම සැකකරුවන්ට අදාළ පරීක්ෂණ අවසන් කොට සියලු වාර්තා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි.

එහෙත් මෙම සැකකරුවන්ට එරෙහිව නඩු පවරන්නේද නැතහොත් නිදහස් කරන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

'බලයක් නැහැ'

එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අමිල ආරියරත්න කියා සිටියේ සැකකරුවන්ට ඇප දීමට තමාට බලයක් නොමැති බවයි.

ඇප මත නිදහස් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දෙන්නේ නම් පමණක් තමන්ට සැකකරුවන් නිදහස් කල හැකි බවයි මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ.

දැනට රැඳවුම් භාරයේ පසු වන දෙමළ දේශපාලන සිරකරුවන් ඇප මත නිදහස් කළ යුතු බවට රජය දේශපාලන තීරණයක් ගෙන ඇති බවද විත්තියේ නීතිවේදීහු එහිදී අධිකරණයේ අවධානයට යොමු කළහ.

ඊට පිළිතුරු දෙමින් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් අවධාරණය කළේ නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන්නේ නම් පමණක් තමන්ට සැකකරුවන් ඇප මත මුදා හල හැකි බවයි.

සැකකරුවන් ලබන 11 වනදා දක්වා තව දුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අධිකරණය එදිනට නීතිපතිවරයාගේ ස්ථාවරය අධිකරණයට දන්වන්නැයි ත්‍රස්ත මර්දන කාර්යාංශයට නියම කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර