විමල් වීරවංශගේ විදේශ ගමන් බලපත්‍රයට ලක්ෂයක බැඳුම්කරයක්

Image copyright b

තමාට එරෙහි ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයට අදාළ පැමිණිල්ල තුළ රහස් පොලිසිය පවසන ආකාරයේ බරපතළ භාවයක් නොමැති බව අධිකරණය තම විදේශ ගමන් බලපත්‍රය නැවත ලබා දීමෙන් පෙන්නුම් කෙරෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කළ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නව විදේශ ගමන් බලපත්‍රය මුදා හරින ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කළ අතර ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කළේ.

මන්ත්‍රීවරයා අද (28) අධිකරණයේ පෙනී සිටි අතර රුපියල් ලක්ෂයක බැඳුම්කරයක් මත ඔහුගේ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය මන්ත්‍රීවරයාට යළි ලබා දීමටයි අධිකරණය නියෝග කළේ.

ව්‍යාජ ගමන් බල පත්‍රයක් ළග තබා ගැනීම හා නව ගමන් බලපත්‍රය සඳහා ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීම පිළිබඳවයි වීමක් වීරවංශ මන්ත්‍රීවරයාට චෝදනා එල්ල කෙරුණේ.

ව්‍යාජ තොරතුරු

විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුගිය සිකුරාදා විදේශ ගත වීමට යමින් ගුවන් තොටුපල බලධාරීන් වෙත ඉදිරිපත් කරනු ලැබුණේ මීට කලකට පෙර අස්ථානගත වීම හේතුවෙන් ඔහු විසින් ම අවලංගු කරනු ලැබුන විදේශ ගමන් බලපත්‍රයයි.

Image copyright b

අදාළ නඩුව ලබන වසරේ මැයි මස තුන් වැනි දිනට කල් තැබුණි.

‘මේ පැමිණිල්ලේ බරපතල කමක් තිබුණා නම් මම හිතන්නේ නැහැ, ගරු අධිකරණය ගුවන් බලපත්‍රය මගේ අතට දෙයි කියලා, ඒ වගේම මට ගුවන් ගමන් වාරණයක් පනවලත් නැහැ’ විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඉදිරිය කාලය තුළ තමන් යොදා ගත් විදේශ සංචාර සඳහා පිටත්ව යාමට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරයා පවසයි.