උතරු නැගෙනහිර යුද වැන්දඹුවන්ට අමරිකානු ආධාර පතයි

යුද්ධය හේතුවෙන් වැන්දඹු භාවයට පත්ව සිටින උතුරු නැගෙනහිර කාන්තාවන් 33000 කට පමණ ඇමරිකානු රජයෙන් ආධාර උපකාර කරණ මෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් ඉල්ලීමක් කරයි.

ප්‍රධාන අමාත්‍යවරයා මෙම ඉල්ලීම කොට ඇත්තේ තුන් දින සංචාරයක් සඳ හා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ලෝක කාන්තා කටයුතු පිළිබද තානාපතිවරිය වූ කැතරින් රසල් යාපනයට ගොස් ප්‍රධාන අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදීයි.

වැන්දඹු කාන්තාවන් වෙනුවෙන් ඇමරිකානු ආධාර ඉල්ලීමට පෙර උතුරු පළාත් සභාවට යමක් කළ නොහැක්කේ මන්දැයි තානාපතිවරිය මහ ඇමතිවරයාගෙන් විමසීමක් කොට තිබේ.

ප්‍රධාන ඇමතිවරයා ඊට පිළිතුරු වශයෙන් ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය යාන්ත්‍රණයට අනුව පළාත් සභා ක්‍රමයක් ඇතත් උතුරු පළාත් සභාවට එවැනි ව්‍යාපෘති සඳහා මූල්‍ය ප්‍රතිපාදන නොමැති බවයි.

යුද්ධයේ දී වැන්දඹු භාවයට පත්වූ කාන්තාවන්ට උදවු උපකාර කළ හැකි නමුත් ඊට පෙර ශ්‍රී ලංකා රජය සමග එකඟතාවකට පැමිණ වැන්දඹු කාන්තාවන්ගේ අවශ්‍යතා වෙන වෙනම ගොණු කොට ඒ අනුව ආධාර කිරීම වඩා වැදගත් බව ඇය විසින් පෙන්වා දී තිබේ.

උතුරු පළාත් සභාවට සෘජුවම ආධාර කිරීමට නොහැකි බවත් දෙපාර්ශවය සමග සාකච්ඡා කොට ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා රජය මගින් එම උපකාර කිරීමට තානාපතිවරිය එකඟ වූ බවත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් සඳහන් කළේය.

මීට අමතරව, සිංහල හා දෙමළ වැසියන් අතර සංහිඳියාව ගොඩ නැංවිය හැකි අන්දමද, කාන්තා හිංසනය පිටුදැකීමට ගත හැකි ක්‍රියා මාර්ග පිළිබඳවද තානාපතිවරිය හා ප්‍රධාන අමාත්‍යවරයා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

Image caption උතුරු පළාත් සභාවේ සැසිවාරයක්

කැතරින් රසල් තානාපතිවරිය යාපනයේදී නව රද ගුරු ජස්ටින් බර්නාඩ් ඥාණප්‍රගාසම් හිමිපාණන් හමුවූ අවස්ථාවේදී උන්වහන්සේ පවසා ඇත්තේ යුද අනාථයින් ඉතා ඉක්මනින් යළි පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කිරීමට ඇමරිකාව මැදිහත් වන ලෙසයි.

ඊට අමතරව දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් ලබා දීම පිණිසත්, පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට රජයේ රැකියා ලබා දීමටත්, වැන්දඹු කාන්තාවන්ට රජයෙන් සහන සලසා දීමටත් ඇමරිකාව විසින් ශ්‍රී ලංකා රජයට බලපෑම් කරණ මෙන්ද යාපනය රද ගුරු හිමිපාණන් විසින් ඉල්ලීමක් කොට තිබේ.