"පොලිස් ප්‍රහාරයේ ඡායාරූප නොමග යවන සුළුයි"

Image copyright b

සිසු විරෝධතාවට පහරදීම සිදු වුයේ සිසුන් පොලිස් නියෝග නොතකා බලහත්කාරයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ පරිශ්‍රයට ඇතුළ්වීමට උත්සහ කළ නිසා බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර පවසයි.

ඊයේ බ්‍රහස්පතින්දා කොළඹදී පැවති සිය විරෝධතාවට පොලීසිය දරුණු ලෙස පහර දුන් බවයි අන්තර් උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා පාඨමාලා ශිෂ්‍ය එකමුතුව ප්‍රකාශ කළේ.

අද කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පොලිස් ප්‍රධානින් පැවසුවේ පොලිසිය සිසුන්ට පහර දෙන ආකාරයට මාධ්‍යවල පළවී ඇති ඡායාරූප නොමග යවන සුළු බවයි.

කොළඹ කොටුවෙන් ආරම්භ වු සිසු විරෝධතා පාගමන නිසා ඊයේ දැඩි රථවාහන තදබදයක් ඇති විය.

රථවාහන තදබදය දෙවනුවට තබා පොලිසිය සිසුනට අවශ්‍ය ස්ථානයට ගමන් කිරීමට සහයෝගය දුන් බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර පැවසුවේය.

Image copyright b

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ බව පැවසුවේ ඊයේ සිසු විරෝධතාව විසුරුවා ලීමට පෙර තිබු තත්වය ගැන අදහස් දක්වමින්.

"රථවාහන තදබදය නිසා මිනිස්සු ගොඩක් සාප කරන්න ඇති, ඒත් සාප කරන්නේ කාටද? පොලිසියට"

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ පොලීසිය සිසුන්ගේ පාගමනට කිසිවිටක බාධා නොකළ බවයි.

" පිටකොටුවෙන්, කොටුව හරහා ආව ටෙක්නිකල් හන්දියට, එතන දැඩි තදබදයක් ඇති වුනා, ඊට පස්සේ මරදානට ආවා, ඩීන්ස් පාර හරහා සොයිසා වටරවුමට ආවා, ගමන් මාර්ග වෙනස් කරමින් ආවේ, අපි ඒ කිසිවිටක ඔවුනට බාධා කළේ නැහැ, අවශ්‍යදේ කරන්න දුන්නා"

කෙසේ වෙතත්, සිසුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ආසන්නයට පැමිණීමේදී සිසුන්ගේ නියෝජිතයන්ට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ප්‍රධානීන් සමග සාකච්ඡාවක් ලබා දීමට පොලිසිය උත්සාහ කලත් කොමිසමේ ප්‍රධානින් එම අවස්ථාවේ කාර්යාලයේ නොසිටි බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ.

" වග කිව යුත්තෝ හිටියේ නැහැ, ඒ අවස්ථාව තිබුනා නම් මේක වළක්ව ගන්න තිබුනා, ඊට පස්සේ මම අගමැති ලේකම් තුමාට කතා කරල කිව්වා මේ ප්‍රශ්නේ. එතුමා මට කිව්වා මේ ළමයි අගමැති කාර්යාලයට එවන්න කියලා, ඒක කියන්න යන කොට මේ ගොල්ලෝ කඩා ගෙන පැනල ගහනවා"

සිසුන් පොලිස් නියෝග නොතකා බලහත්කාරයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභා පරිශ්‍රයට ඇතුල්වීමට උත්සාහ කළ නිසා අවම බලය යොදා විරෝධතාවය විසුරුවාලීමට කටයුතු කල බවයි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර පැවසුවේ.

මෙහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන ප්‍රකාශ කලේ පොලීසිය සිසුන්ට පහර දෙන ආකාරයට මාධ්‍යවල පළවී ඇති ඡායාරූප නොමග යවන සුළු බවයි.

" අද ලංකාදීප පුවත් පතේ ඡායාරූපය සම්බන්ධ ඒ සිද්ධිය ඇතිවෙද්දී මම පුද්ගලිකවම එතන හිටියා, ඇත්තටම ඒ සිසුවියට එතනින් ඉවත්වන්න කියලා තමයි කිව්වේ, නමුත් බැටන් පොල්ල හේතුවෙන් නොමග යවන සුළු විදිහට ඒක පහර දීමක් ලෙස හුවා දක්වල තියෙනවා"

Image copyright b

මෙහිදී පොලිසියෙන් කිසිදු වරදක් සිදු වුයේ නැද්දයි විමසු විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර පැවසුවේ පොලිසිය 100% අංග සම්පුර්ණ නොවන බව තමන් පිළිගන්නා බවයි

"එතන හිටපු අපේ නිලධාරීන් 200 දෙනාම අංග සම්පුර්ණව එතන හැසිරුනා කියල මට කියන්න බැහැ, යම් නිලධාරියෙක් සීමාව ඉක්මවා ක්‍රියා කරලා තියෙනව නම් ඒ සඳහා පරීක්ෂණයක් අපි කරනවා, ඒකේ සුදු හුණු ගහන්න අපි ලෑස්ති නැහැ"

මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 39 දෙනා ඇප මත මුදා හැරීම පිළිබඳව පොලිසිය විරුද්ධ නොවූ බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයා සඳහන් කළේය.