පාසැලක් ඉල්ලා මවක් උපවාසයේ

සිය දරුවා පාසලට ඇතුළත් කර ගන්නා මෙන් ඉල්ලා පාසලට මීටර සියයක් පමණ නුදුරින් පදිංචි මවක් උපවාසයක නිරත වුනාය.

තම දරුවා මාස දහයක් තිස්සේ පාසලක් නොමැතිව සිටින බවයි හලාවත ආනන්ද ජාතික පාසල ඉදිරිපිට සිය පුතු සමඟ උපවාසය ආරම්භ කළ නිර්මලී පෙරේරා පවසන්නේ.

ඇයද එම පාසලේම ආදී ශිෂ්‍යාවක් වන අතර ඇගේ වැඩිමල් දරු දෙදෙනා ද ඉහත කී විදුහලේ ඉගෙනුම ලබති.

උපවාසයේ යෙදී සිටි දරුවා සහ මව විද්‍යාලය ඉදිරිපිටින් එලවා දැමිම සඳහා විදුහලේ ආරක්ෂක නිලධාරීන් පියවර ගනිද්දී හලාවත එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සාන්ත සිසිර අබේසේකර එම ස්ථානයට පැමිණීම නිසා එය අසාර්ථක විය.

පාර්ලිමේන්තුවේ දී හා අධ්‍යාපන අමාත්‍යවරයා හමුවි සාකච්ඡා කරන තෙක් සතියක කාලයක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා කළ ඉල්ලීම මත උපවාසය අතහැරීමට මව තීරණය කළාය.