මීරියබැද්ද අවතැන්වූවන් තවමත් අනාථ කඳවුරේ

Image copyright Adayalam

මීරියබැද්ද නාය යාමට වසරක් ගෙවී ඇතත් එම ආනතුරෙන් අවතැන් වූවන් තවමත් ජීවත් වන්නේ තාවකාලික අනාථ කඳවුරු වලයි.

හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ 2014 ඔක්තෝබර් මාසයේ විසි නම වැනි බදාදා (29) උදෑසන සිදු වූ දරුණු නායයෑමෙන් පුද්ගලයන් එක සිය අනූ දෙදෙනකු පමණ මරණයට පත් වූ අතර පවුල් සියයකට ආසන්න ප්‍රමාණයක් අවතැන් වී ඇත.

2014 ඔක්තෝබර් මාසයේ සිදු වූ නායයෑමෙන් කොළඹ මඩකලපුව ඒ- හතර ප්‍රධාන පාරේ කොස්ලන්ද දෙමළ විදුහල අසලින් දකුණට යන මාර්ගයේ කිලෝ මීටර් තුනක් පමණ ගිය තැන අක්කර දහයක පමණ ප්‍රදේශයක් පස් වලින් සම්පූර්ණයෙන්ම යට වූ අතර ඊට ගොදුරු වූයේ වතු නිවාස අට බැගින් වූ පේලි නිවාස(ලයින් කාමර) සමූහයකි.

Image caption මෙම තේ කම්හලේ අඩි අට දහය ප්‍රමාණයේ කුඩා කාමර පනස් හතක අවතැන් වූ පවුල් අනූ තුනක් දිවි ගෙවති.

පූනාගල මහ කන්ද ප්‍රදේශයේ පිහිටි අත්හැර දැමුණු තේ කම්හලක සැකසූ තාවකාලික අනාථ කඳවුර සමූහ නිවසක් බවට පත් වී ඇති අතර එහි වෙසෙන මීරියබැද්ද අවතැන්වූවෝ අදත් ධාරානිපාත වැසි වලින් පීඩා විඳිමින් සිටිති.

තාවකාලික අනාථ කඳවුර

නායයෑමෙන් අවතැන්ව සමූහ නිවාසයේ සිය පවුල සමග දිවි ගෙවන සුබ්‍රමනියම් විමලා අවතැන්වූවන් මුහුණ පා සිටින අවාසනාවන්ත තත්වය පැහැදිලි කරමින් කියා සිටියේ මේ වන විට මාස එකොළහක් තමන් මෙම කඳවුරේ ජීවත් වී ඇති බවයි.

තේ කම්හලේ තාවකාලිකව වෙන් කරන ලද අඩි අටේ දහයේ කුඩා කාමරයක පවුල් දෙකක් ජීවත් වන බවයි විමලා සුබ්‍රමනියම් වැඩි දුරටත් කියා සිටියේ.

මෙම තේ කම්හලේ අඩි අට දහය ප්‍රමාණයේ කුඩා කාමර පනස් හතක අවතැන් වූ පවුල් අනූ තුනක් දිවි ගෙවති.

මීරියබැද්ද මහා විපතින් අවතැන්වූවන්ට දින සියයක් ඇතුළත නව නිවාස තනා දෙන බවට ආණ්ඩුව පොරොන්දු දී ඇතත් අනතුරෙන් වසරක් ගෙවී ගොස් ඇතත් තවමත් එකදු නිවාසයක් හෝ ලබා දී නැති බවයි අවතැන් වූ ජනතාව පවසන්නේ.

ඉටු නොවූ පොරොන්දු

හරි ආකාර යටිතල පහසුකම් කිසිවක් නොමැති මෙම පැරණි තේ කම්හල අසල වැසි කාලයට විදුලි රැහැන් කඩා වැටීම් සහ ගිනි ගැනීම් පවා සිදු වන බව පවසන විමලා වැඩි දුරටත් කියා සිටියේ බොහෝ රාත්‍රි කාලයන්හි කඳවුරේ විදුලිය විසන්ධි වන බැවින් භීතියෙන් රෑ පහන් කිරීමට සිදු වන බවයි.

අවතැන්වූවන් අතර වෙසෙන වසන්ති කුමාරි සිය අත්දැකීම් පැහැදිලි කරමින් කියා සිටියේ අලුත් නිවාස ගොඩනගන අයුරු පෙනෙන්නට තිබුනත් එම ව්‍යාපෘතිය අනවශ්‍ය ලෙස ප්‍රමාද වෙමින් තිබෙන බවයි.

දැඩි කම්කටුලු මැද ජීවිතය ගෙවන අවතැන් වූ පවුල් වලට නිවෙස් ලබා දීම හැකි පමණින් කඩිනම් කරන ලෙසයි ඇය බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Image copyright AFP
Image caption හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ 2014 ඔක්තෝබර් මාසයේ විසි නම වැනි බදාදා (29) උදෑසන සිදු වූ දරුණු නායයෑමෙන් පුද්ගලයන් 190දෙදෙනකු පමණ මිය ගොස් පවුල් 100 ආසන්න ප්‍රමාණයක් අවතැන් විය.

'මම අහන්නේ අවුරුද්දක් යන කල් මේ අනාථ කඳවුරේ ඉන්න කට්ටියට ඇයි ආණ්ඩුවේ ඇමතිතුමන්ලා ඒ වගේම අපේ දෙමළ ඇමතිතුමන්ලා එකතු වෙලා ගෙවල් හදලා දෙන්න වැඩ කරන්නේ නැත්තේ කියලයි' අවතැන්වූවන් අතර වෙසෙන කාමදේවන් රජයේ දේශපාලනඥයින්ගෙන් ප්‍රශ්න කරයි.

මෙලෙස 'අඩු ඉඩක වැඩි පිරිසක් ගාල කර තිබීම' තුලින් සෞඛ්‍ය ප්‍රශ්න පමණක් නොව සමාජීය ගැටළු මතු වන බවයි කාමදේවන් පවසන්නේ.

ඔහුගේ අදහසට ඌන පූරණයක් එකතු කළ විමලා කියා සිටියේ පසුගිය මාසයේ එක් දරුවෙකුට පැපොල වැළඳීමෙන් පසු කඳවුරේ වසංගතයක් ලෙසින් පැපොල පැතිරුණ අතර බොහෝ දරුවන් දරුණු ලෙස අසනීප වූ බවයි.

සමාජීය ගැට‍ළු

'හෙට අනිද්දා ළමිස්සියෝ වෙන ළමයි ඉන්නවා, ඉගෙන ගන්න තරුණ තරුණියොත් ඉන්නවා, ඉතින් මේ ළමයින්ගේ හිත් වලට වැරදි නරක අදහස් මතු වෙලා තියෙනවා' කුඩා ඉඩකඩක කොටු වී සිටින තරුණ පිරිස් සමාජීය ගැට‍ළු වලට මුහුණ දෙන අතර පෞද්ගලිකත්වයක් නැති වටපිටාවේ දක්නට ලැබෙන සිදුවීම් මගින් ඔවුන් නොමග යවන බවයි විමලා වැඩි දුරටත් කියා සිටියේ.

අනාථ කඳවුර පිහිටවූ මුල් කාලයේ අවතැන්වූවන්ට රජයෙන් ආහාර සැපයුවත් මේ වන විට ඔවුන්ට ලැබෙන්නේ සලාකයකි.

'දැන් අපිට දෙන්නේ සතියකට එක කූපන් එකක්.දහ දෙනෙක් ඉන්න පවුලටත් එක්දාස් පන්සීයයි.පස් දෙනෙක් ඉන්න පවුලටත් එක්දාස් පන්සීයයි' යයි පවසන විමලා පෙන්වා දෙන්නේ සාමාජිකයන් ගණන වැඩි පවුල් වලට ලබා දෙන සලාකය ප්‍රමාණවත් නොවන බවයි.

වැසි සමයේ දී අනාථ කඳවුර වෙනුවෙන් ඉදි කර ඇති වැසිකිළි වලවල් ඉතා ඉක්මනින් පිරී යන අතර තමන්ට අත්‍යවශ්‍ය සේවා සපයා ගැනීමට හෝ නව නිවහනක් ඉල්ලා සිටීමටත් කිසිම බලධාරියෙකු නැති බවයි අවතැන්වූවන් පවසන්නේ.

ප්‍රමාණවත් නොවන සලාක

විපතට පත් වූ වැඩි දෙනා වතුකරයේ නූගත් කම්කරු ජනතාව වන බැවින් රජය තමන් නොසලකා හැර ඇති බවට අවතැන්වූවෝ චෝදනා කරති.

පුනාගල මහා කන්ද තේ කම්හලේ සහ කොස්ලන්ද ශ්‍රී ගනේෂා විද්‍යාලයේ තාවකාලික අනාථ කඳවුරු වල දිවි ගෙවන ජනතාව වෙනුවෙන් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ආයතනයෙන් විමසීමක් සිදු කිරීමට සංදේශය සමත් විය.

එම විමසුමට පිළිතුරු දුන් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ජේ එම් එල් උදය කුමාර කියා සිටියේ අවතැන් වූ ජනතාව පීඩාවට පත් කිරීමේ අදහසක් සිය ආයතනයට නොමැති බවයි.

ඔහු පවසන්නේ කෙසේ වෙතත් මේ වසරේ ඔක්තෝබර් මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර තිබූ නිවාස ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට නොහැකි වූ බවයි.

විවිධ කරුණු හේතුවෙන් ඉහත කී අවතැන් ජනතාවට ගෙවල් සාදා දීම අනවශ්‍ය ලෙස පමා වී ඇති බව තමන් පිළිගන්නා බවයි ඔහු කියා සිටියේ.