මේ රටේ අපට රැකවරණයක් නැහැ-චිත්‍රාංගනී විජේවීර

Image copyright SriLankaGuardian.org
Image caption රෝහණ විජේවීර , චිත්‍රාංගනී සහ දරුවන්

(චිත්‍රාංගනී විජේවීර බීබීසී සංදේශයට යොමු කළ ලිපියේ අවසන් කොටස)

මෙම ලිපියේ පළමු කොටස මෙතනින් කියවන්න.

නිදහස සීමා කරනු ලබූ දැඩි නීති රීති වලට යටත් කරනු ලැබීමෙන් පත් වූ දැඩි මානසික පීඩනය නිසා මාගේ වැඩිමල් දියණිය 1994 වසරේදී වස පානය කිරීමෙන් සිය දිවි නසා ගැනීමට තැත් කළාය.

එම සිදුවීමෙන් පසු ඇය බෙහෙවින් මුරණ්ඩු දැරියක් බවට පත් වූ අතර අනෙක් දරුවන් පසෙකලා ඇය යථා තත්වයට ගැනීමට මා නොගත් උත්සාහයක් නොමැත.

සම වයසේ අනෙකුත් දරුවන්ට හිමි නිදහස තමාටද ලබා දෙන මෙන් ආවේගශීලීව ඉල්ලා සිටි ඇය එකී නිදහස කඳවුර තුලින් නොලැබෙන විට අයගේ පීඩාව ප්‍රකාශයට පත් කළේ තම බාල සහෝදර සහෝදරියන්ට දරුණු ලෙස පහර දෙමිනි.

එවැනි තත්වයක් යටතේ මගේ අනෙකුත් දරුවන් පස් දෙනා දැඩි කායික මෙන් ම මානසික හිංසනයට පීඩනයට පත් කෙරිණ.

දීර්ඝ කාලයක් රඳවා තබනු ලැබීම තුලින් අත් වූ ප්‍රතිවිපාකය මගේ වැඩිමල් දියණිය අප පවුලේ ප්‍රධාන සතුරකුගේ තත්වයට පත්වීමයි.

Image copyright b

මගේ වැඩිමහල් දියණියන් සාමාන්‍ය පෙළ විභාගය සමත් වූ විට උසස් පෙළ සඳහා නිසි කලට පාසල් වලට ඇතුලු කිරීමට නිසි අවස්ථාවක් හෝ නිසි අවසරයක් නොලැබුණි.

පාලකයන්ගේ ප්‍රතිචාරය

මේ පිළිබඳව එවකට පැවැති ආණ්ඩුවලින් විමසූ විට ඔවුන් පැවසුවේ අප මෙසේ රඳවා තබන්නේ හුදෙක් අපගේම ආරක්ෂාව සඳහා බවයි.

එසේ වුවද එය මා හා මාගේ දරුවන්ගේ නිදහස ඉතාමත් දරුණු ලෙස උදුරා ගැනීමක් විය.එසේම දරුවන්ගේ මානසික සෞඛ්‍යය දරුණු ලෙස පිරිහීමට හේතුවක් විය.

අද මගේ එකම අභිප්‍රාය මගේ දරුවන්ගේ ජීවිතවල පැවැත්ම වෙනුවෙන් මෙම පීඩාකාරී වාතාවරණයෙන් මිදී නිදහස් පුරවැසියන් ලෙස ඔවුන්ට ජීවත් වීමට හැකි සාමකාමී පරිසරයක් කරා රැගෙන යාමයි.

මගේ සැමියාගේ දේශපාලන මතවාදය හේතුවෙන් ඔහු ජීවත්ව සිටියදී මෙන්ම අදත් ඔහු දැඩි ලෙස විවේචනය කරන දේශපාලන සතුරෝ සිටිති. ඔහුගේ මරණයට හේතු වූයේත් එයයි.

ශ්‍රී ලංකික සමාජය මගේ සැමියා සහ ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරන ලද අකටයුතුකම් වෙනුවෙන් සෑම විටම මගේ දරුවන්ට චෝදනා කරමින් ඔවුන් දරුණු ලෙස විවේචනය කර ඇත.

ඔවුන් සමාජය හමුවේ සෑම විටම දරුණු මානසික පීඩාවකට ලක් වූයේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා කලාපය නිසා මිස ඔවුන්ගේ කටයුතු නිසා නොවේ.එම තත්වය මෙම සමාජය තුලින් කිසි දිනක ඈත් වෙතැයි මට සිතිය නොහැක.

Image copyright jvpsrilanka.com

වර්තමානයේ මා සහ මගේ දරුවන් හට කිසිදු ස්වාධීන ආදායම් මාර්ගයක් හෝ වාසස්ථානයක් නොමැත. ඔවුන්ගේ අවශ්‍යතා සැපිරීමට මා වෙනුවෙන් කිසිවෙකුත් නොමැත.

පියා කළ වැරදි වලට

අද තරුණ විය පසු කරමින් සිටින මගේ දරුවන් නිරන්තරයෙන් ප්‍රශ්න කරන්නේ කිසි විටකත් දේශපාලනය නො කළ , කිසිදු දේශපාලන මතයක් නොදැරූ ඔවුනට තම පියා හා ජනතා විමුක්ති පෙරමුණ කළ වරදවල් සඳහා දඩුවම් විඳීමට සිදු වූයේ කුමක් නිසාද යන්නයි.

තමන් කිසිඳු චෝදනාවකින් තොරව බාහිර ලෝකයෙන් ඈත් කර රඳවා තබා සිටින්නේ කුමක් නිසාදැයි දරුවෝ ප්‍රශ්න කරති.

එවකට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතු වලට සෘජුවම සම්බන්ධ වූවන් වර්තමානයේ දේශපාලන කටයුතු වල නිරත වන අතර ඔවුනට දඩුවම් නොදී එදා බාලවයසේ සහ අතදරු වියේ පසු වූ තමන්ට දඩුවම් ලබා දුන්නේ කුමක් නිසාදැයි ඔවුහු ප්‍රශ්න කරති.

1989 සිට අද දක්වා කිසිදු චෝදනාවකට වරදකරුවන් නොවූ මට හා මාගේ දරුවන්ට ඔවුන්ගේ පියා හා ජනතා විමුක්ති පෙරමුණ විසින් කරන ලද ක්‍රියා වෙනුවෙන් අහේතුකව වන්දි ගෙවීමට සිදු වීම කිසිදු සදාචාර නීතියකට අනුගත නොවන බව සඳහන් කරනු කැමැත්තෙමි.

පවතින තත්වය යටතේ කිසිදු දිනක මට හෝ මාගේ දරුවන්ට ශ්‍රී ලාංකික සමාජය තුළ ස්ථාවර අනාගතයක් දැකිය නොහැක.

අනාගතයක් නැති දරුවන්

මගේ දරුවන් ඔවුන්ගේ පාසල් තුල, අමතර පන්ති මෙන්ම විශ්ව විද්‍යාල තුළත් ගුරුවරුන් විසින් දැඩි වෙනස්කම් වලට බඳුන් කරනු ලැබ ඇති අතර ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම් විවේචනය කරමින් ඔවුන් නොකළ වැරදි සම්බන්ධයෙන් අනෙකුත් සිසුන් ඉදිරියේ හෙලා දැකීමට අපහාසයට ලක් කොට ඇත.

එම පරිසරය මගේ දරුවන් අධ්‍යාපන කටයුතු තරයේ ප්‍රතික්ෂේප කරන තතවයකට හේතු විය.එසේම එය ඔවුන්ගේ වෘත්තීය ජීවිත වලටත් අහිතකර බලපෑමක් විය.

තවද, ප්‍රමාණවත් සුදුසුකම් තිබුණත් මගේ දරුවන් රැකියාක්ෂේත්‍රය තුලද දැඩි වෙනස්කම්වලට ලක් වූයේ පවුලේ පසුබිම මතයි.

මගේ එකම විවාහක දියණිය පවා ඇගේ දරුවාත් සමග, අප සමග වාසය කරනුයේ බාහිර සමාජය විසින් ඇය ප්‍රතික්ෂේප කරන හෙයිනි.

ජනතා විමුක්ති පෙරමුණ 1994 වසරින් පසු නැවතත් ස්ථාවර දේශපාලන මගකට පිවිස ඇතත් කිසිදු අවස්ථාවක මගේ දරුවන් මෙලෙස රඳවා තැබීම සම්බන්ධයෙන් එරෙහි වූයේ හෝ ඔවුන්ට නිදහස ලබා දීමට කිසි විටක පෙනී සිටියේ නැත.

.

බලාපොරොත්තු නැති දේශය

1999 සැප්තැම්බර් මස සිට මා සහ මාගේ දරුවන් වැලිසර නාවික හමුදා කඳවුරට මාරු කරන ලද අතර විසිපස් වසරකට වැඩි කාලයක් කඳවුර තුළදී සහ බාහිර සමාජයේ දී මුහුණ දෙන ලද අපමණ මානසික පීඩාවන් හා අකටයුතුකම් හමුවේ මාගේ දරුවන් ශ්‍රී ලාංකික සමාජය තුල තව දුරටත් රැඳී සිටීම ප්‍රතික්ෂේප කරති.

මගේ දරුවන්ගේ පියා සහ ජ.වි.පෙ. විසින් සිදු කල අපරාධ සඳහා දරුවන් වග කිව යුතු නැති බව පටු චින්තනය නිසා බොහෝ දෙනෙක් අවබෝධ කර නොගන්නා අතර එයින් සිදු වන්නේ මාගේ දරුවන් දැඩි මානසික පීඩනයකට ගොදුරු වීමයි.

සැම විටම මාගේ දරුවන් අපරාධකරුවන් ලෙස සලකන සමාජයක මාගේ දරුවන්ට සාධාරණත්වය හෝ අයිතිවාසිකම් ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු නොවෙමි. එසේම, මගේ දරුවන්ට ශ්‍රී ලාංකික සමාජය තුළ කිසිදු ආරක්ෂාවක් හෝ රැකවරණයක් නොමැත.