අද තිබෙන්නේ නඩු එපා කරවන පසුබිමක්- ඇමති තිලක් මාරපන

Image copyright b
Image caption බටහිර රටක සිර මැදිරියක්.

එල්.ටී.ටී.ඊ. සැකකරුවන් ලෙස දැනට බන්ධනාගාර ගත කොට සිටින සිරකරුවන් පිරිස ලබන නොවැම්බර් මස 10 වෙනිදාට යෙදෙන දීපාවලි උළෙලට පෙර නිදහස් කිරීමට හැකි වෙතැයි නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ ඇමති තිලක් මාරපන සිය විශ්වාසය කරයි.

ඇමතිවරයා එම විශ්වාසය පළ කළේ නවීකරණය කරණ ලද යාපනය බන්ධනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

Image caption නවීකරණය කෙරුණ යාපනය සිරගෙදර.

තිලක් මාරපන ඇමතිවරයා තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල දැනට සිරකරුවන් 18000 ක් පමණ සිටින බවයි.

එම සිරකරුවන්ගෙන් විශාල සංඛ්‍යාවක් බන්ධනාගාර ගත නොවිය යුතු පුද්ගලයින් බව පවසන ඇමතිවරයා ඔවුන් එසේ බන්ධනාගාර ගත කරනු ලැබ ඇත්තේ සුලු වරදකට හසුවීමෙන් හෝ ඔවුන්ට නීතිය සම්බන්ධයෙන් නිසි උපදෙස් නොලැබීම නිසා බවයි පෙන්වා දුන්නේ.

දහඅට දහසක් සිරකරුවන්

එහෙයින් දැනට බන්ධනාගාරගතව සිටින සිරකරුවන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුව ඇතැයිද නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ ඇමති තිලක් මාරපන සඳහන් කරයි.

Image copyright AFP
Image caption 2012 වැලිකඩ සිරකරුවන් සිරගෙයි වහල මත විරෝධතා ව්‍යාපාරයක

රට තුළ දැනට පවත්නා තත්වය අනුව සැකකරුවකුට එරෙහිව නඩු පැවරීමට පොලිසිය දීර්ඝ කාලයක් ගන්නා අතර පවරණ ලද නඩුවක් විභාග කිරීමට තවත් වසර 10 ක් 15 ක් වැනි කාලයක් වැය කරණ බවයි ඇමතිවරයා පවසන්නේ.

නඩු එපා වීමක්

එවැනි පසුබිමක් සැකකරුවන්ට පමණක් නොව විනිසුරුවරුන්ට සහ නීතීඥයින්ටද නඩු එපා කරවන තත්ත්වයක් උද්ගත කරන බවයි තිලක් මාරපන ඇමතිවරයා කියා සිටියේ.

Image caption බෝගම්බර සිරකරුවන් ආහාර වර්ජනයක නියැළුන අවස්ථාවක විරෝධතාවයක.

එය විහිලු සහගත තත්ත්වයක් වන බැවින් ඊට ගැළපෙන නව ක්‍රමයක් සකස් විය යුතුව ඇතැයිද නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ ඇමතිවරයා වැඩිදුරටත් පවසයි.