පොලිසිය කරන ප්‍රකාශය වැරදියි - ඇමති කිරිඇල්ල

Image caption පොලිසිය සිසුවකු අත්අඩංගුවට ගනිමින්

පසුගිය බ්‍රහස්පතින්දා (29) උසස් අධ්‍යාපන ප්‍රතිපාදන කොමිසම (UGC) කරා පෙළපාලියෙන් ලඟා වූ HNDA ගණකාධිකාරී ඩිප්ලෝමා සිසුන්ට පහර දීමට සිදු වීම ඒ මොහොතේ සිසුන්ට ඇහුම්කන් දීමට ප්‍රතිපාදන කොමිසමේ කිසිවකු නොවීම නිසා උද්ගත වූ තත්වයක් හැටියට පොලිසිය කරන ප්‍රකාශය උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල විසින් බැහැර කරනු ලබයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මාධ්‍ය හමුවක දී ඊයේ සිකුරාදා (30) සඳහන් කළේ, සිසුන්ට උසස් අධ්‍යාපන ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් මුණ ගැස්වීමට තමා උපරිම උත්සාහය දැරුවත් ඔවුන්ට සවන් දීමට කිසිවකු එහි නොවීම සිය කනස්සල්ලට හේතු වූ අතර අනතුරුව සියල්ල වෙනත් අතකට පෙරලුන බවයි.

Image copyright n

එවැනි තත්වයක් උද්ගත වීම සම්බන්ධයෙන් බීබීසී සංදේශය උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් විමසීමක් කළ විට ඇමතිවරයා කියා සිටියේ, ‘පොලිසිය කරන ප්‍රකාශය වැරදි එකක් වන අතර සිද්ධිය වූ අවස්ථාවේ ලේකම්වරයකු කාර්යාලය තුළ සිටි’ බවයි.

කැබිනට් පත්‍රිකාවක්

‘සිද්ධිය වූ දවසේ මමත් නියෝජ්‍ය ඇමතිවරයාත්, වෘත්තීය සමිති නියෝජිතයන්, HNDA පාඨමාලාව පැවැත්වෙන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ එහි දිස්ත්‍රික් භාර නිලධාරීන් සමඟ උදේ නවයේ සිට දවල් දොළහ වෙනතෙක් සාකච්ඡා කළා. පොලිසිය ඒ ගැන දන්නේ නැහැ. මේ සිසුන්ට අදාළ 5490 චක්‍රලේඛනය ක්‍රියාත්මක කිරීමට අපි එකඟ වී සිටිනවා’ ඇමතිවරයා පවසයි.

එම 5490 චක්‍රලේඛනය 1990 පටන් වලංගුව පැවතුනත් පසුගිය රජය එය අවලංගු කරන ලද බවයි උසස් අධ්‍යාපන ඇමතිවරයා කියා සිටින්නේ.

Image copyright b

එහෙත් එය යළි බලාත්මක කිරීමට කැබිනට් පත්‍රිකාවක් පිළියෙළ කර ඇති බවත් උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

එය බලාත්මක කරනු ලැබීම HNDA සිසුන්ගේ ඉල්ලීම බවත් එය එදා උදෑසන සාකච්ඡාවට ගත් බවත් ඇමතිවරයා සඳහන් කරයි.

දේශපාලන යටි අරමුණු

එදින සාකච්ඡා සඳහා සිසුන් කැඳවීමක් කර තිබුණේදැයි බීබීසිය ඇමතිවරයාගෙන් ප්‍රශ්න කළ විට ඔහු කියා සිටියේ එවැනි කැඳවීමක් නොවූ අතර සිසුන්ට පෙළපාලියකින් එහි ලඟා වීමේ උවමනාවක් නොවූ බවයි.

Image copyright b

5490 චක්‍රලේඛනය බලාත්මක කිරීමට රජය එකඟ වී සිටිය දී පෙළපාලි පැවැත්වීමේ උවමනාවක් නොවූ බව පෙන්වා දෙන ඇමතිවරයා එය ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගිය දේශපාලන කණ්ඩායමක උවමනාවක් අනුව සංවිධානය කෙරුණ දෙයක් බවයි කියා සිටියේ.

පෙළපාලියක් ගැන ආරංචි ලැබුනත් එය කුමන ස්ථානයක් කරා ගමන් ගැන්නේදැයි නොදැන සිටි බව සඳහන් කළ උසස් අධ්‍යාපන ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල, කෙසේ වුවද සිසුන්ට එල්ල කෙරුණ පොලිස් ප්‍රහාරය තමා කිසිසේත්ම අනුමත නොකරන බවයි අවධාරණය කළේ.