සාක් ක්‍රීඩා: ශ්‍රී ලංකාව මුහුණදෙන අභියෝග

Image caption මීළඟ සාක් ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ උතුරු ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේයි

ලබන වසරේ පෙබරවාරි මාසයේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත සාක් ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් නිසි පරිදි පුහුණුකිරීමේ අවශ්‍යතාවය පිළිබඳ ක්‍රීඩා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ක්‍රීඩා විචාරකයෝ පවසති.

ක්‍රීඩා උළෙල පැවැත්වෙන උතුරු ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ පවතින ශීත කාලගුණය ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට එල්ල වන ප්‍රධාන අභියෝගයක්.

සාක් ක්‍රීඩා උළෙල අවසන් වරට පැවැත්වුණේ 2010 වසරේදී වන අතර, මීළඟ ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිතව ඇත්තේ උතුරු ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේයි.

එම ප්‍රදේශයේ පවතින දැඩි ශීත කාලගුණය හමුවේ ක්‍රීඩා කිරීම තම ක්‍රීඩකයන්ට අපහසු බැවින් 2016 වසරේ ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා උළෙල කල් දමන ලෙස අනෙකුත් සාමාජික රටවල් ඉන්දියාවෙන් ඉල්ලා සිටියහ.

එම ඉල්ලීම හමුවේ ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා උළෙල පෙබරවාරි මාසය දක්වා කල් දැමීමට ඉන්දීය බලධාරීහු කටයුතු කළහ.

ශ්‍රී ලංකාවේ සූදානම

"අප තේරුම් ගත යුතු කාරණයක් තිබෙනවා. ඉතාමත් සුළු කාල වේලාවකින් තමයි මේ තරඟාවලිය පටන් ගැනීම සිද්ධ වන්නේ. එහි මීළඟ පියවරේදී ශීතල කියන කාරණයෙන් සම්පූර්ණයෙන්ම අත් මිදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වෙයිද කියන සැකය මේ තරඟාවලියට ප්‍රවේශ වන මොහොතේ සිටම දැනෙන කාරණයක්," ක්‍රීඩා මාධ්‍යවේදී නිශ්මන් රණසිංහ බීබීසී සංදේශයට පැවසීය.

මෙම තත්වයට මුහුණ දීම සඳහා ගත හැකි පියවර කුමක්ද? මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රමුඛ ක්‍රීඩා අමාත්‍යංශයේ අවධානය යොමු වී තිබේද?

පෙබරවාරි මාසය වන විට ඇසෑමයේ පවතින ශීත කාලගුණය පහව යනු ඇති බව ඉන්දීය බලධාරීන්ගේ අදහස වී ඇති බැවින් ශීත කාලගුණය ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට අභියෝගයක් නොවනු ඇති බවයි ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සංදේශයට කියා සිටියේ.

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙන් ඔබ්බට ගොස් බටහිර රටවල පැවැත්වෙන ජාත්‍යන්තර මට්ටමේ තරඟ සඳහා සහභාගී වන ශ්‍රී ලංකාව වැනි නිවර්තන කලාපීය රටවල ක්‍රීඩකයන් හමුවේ ඇති ප්‍රධාන අභියෝගයක් වන්නේ එම රටවල පවතින ශීත කාලගුණයයි.

දකුණු කොරියාවේ පසුගියදා පැවති ජාත්‍යන්තර ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද පවසා සිටියේ එහි පැවති ශීත කාලගුණය ඔවුන්ට විශාල බාධාවක් වූ බවයි.

පහසුකම්

ශීත කාලගුණ තත්වයන්ට මුහුණ දීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන්නේ නම් කලාපය තුළ අනෙකුත් රටවල් පරයා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට ඉදිරියට යා හැකි වනු ඇති බව ක්‍රීඩා මාධ්‍යවේදී නිශ්මන් රණසිංහ ගේ අදහසයි.

කෙසේ වෙතත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩා සංගම්වල නියෝජිතයන් සමඟ සාකච්ඡා කොට ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බවත් ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේය.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර වැඩිදුරටත් කියා සිටියේ ශීත කාලගුණයක් යටතේ විදේශයන්හි පුහුණු වීම් කළ යුතු ක්‍රීඩකයන් වෙත ආණ්ඩුවේ සහාය ලබා දීමට කටයුතු කරන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර