සිසු පොලිස් ප්‍රහාරය: ත්‍රිපුද්ගල කමිටුවක්

Image caption උසස් අධ්‍යාපන ප්‍රතිපාදන කොමිසම (UGC) කරා පසුගියදා පෙළපාලියෙන් ලඟා වූ HNDA ගණකාධිකාරී ඩිප්ලෝමා සිසුසිසුවියන් පොලිස් ප්‍රහාරයකට ගොදුරු විය

සිසු සිසුවියන්ට එරෙහිව පසුගියදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම ඇතුළු සිසු විරෝධතා මැඩලීමේ අරමුණින් සිදු කෙරෙන පහර දීම් වළක්වා ගැනීම සඳහා ගත යුතු පියවර නිර්දේශ කිරීම සඳහා ජාතික පොලිස් කොමිසම ත්‍රිපුද්ගල කමිටුවක් පත් කොට තිබේ.

උසස් අධ්‍යාපන ප්‍රතිපාදන කොමිසම (UGC) කරා පසුගියදා පෙළපාලියෙන් ලඟා වූ HNDA ගණකාධිකාරී ඩිප්ලෝමා සිසු සිසුවියන් පොලිස් ප්‍රහාරයකට ගොදුරු විය.

එම අවස්ථාවේ පොලිසිය මෙහෙය වූ වැඩබලන පොලිස්පති පූජිත් ජයසුන්දර, බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චම්පික සිරිවර්ධන අද සඳුදා ජාතික පොලිස් කොමිසම ඉදිරියේ පෙනී සිටියේ සිසුන්ට පහර දීම සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණ පැමිණිල්ලක විමර්ශන කටයුතු සඳහායි.

එහිදී පොලිසිය ප්‍රහාරය එල්ල කිරීමට හේතු වූ කරුණු පිළිබඳ කොමිසම දැනුවත් කර තිබේ.

'අප කැඳවලා තිබුණා සාකච්ඡාවකට, කොමිසම ඒ ගැන තීන්දුවක් ගනීවි' කොමිසමේ නිලධාරීන් හමුවීමෙන් පසු වැඩබලන පොලිස්පති පූජිත් ජයසුන්දර මාධ්‍යයට ප්‍රකාශ කළේය.

Image caption "අපිව කැඳවලා තිබුණා සාකච්ඡාවකට, කොමිසම ඒ ගැන තීන්දුවක් ගනී, එච්චරයි"

එම හමුවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ කියා සිටියේ, පොලිසිය විසින් සිදු කරනු ලැබූ පහර දීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පොලිස් කොමිසම මගින් පත් කර ඇති බවයි.

'අගමැතිගෙනුත් කමිටුවක්'

එහිදී පොලිසියේ විනය කඩවීමක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් ආයතන සංග්‍රහය අනුව මූලික විමර්ශන වාර්තාවක් ලෙස මෙම ප්‍රකාශ ලබාගන්නා බවයි කොමිසමේ ලේකම් ආරියදාස කුරේ පවසන්නේ.

'විමර්ශනයට අමතරව ඉදිරියේදී මෙවන් සිදුවීම් වළක්වා ගැනීමට ගත යුතු පියවරද නිර්දේශ කරන ලෙස කමිටුවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙනවා' ලේකම්වරයා පවසයි.

සති දෙකක කාලයක් ඇතුළත අදාළ වාර්තාව ලබා ගැනීමට බලාපොරොත්තුව වන බව පැවසූ පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ,එම වාර්තාව ලැබීමෙන් පසු කොමිසම, මාධ්‍යය වෙත තවදුරටත් කරුණු පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බවයි කියා සිටියේ.

Image copyright n

සිසු සිසුවියන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ දැඩි අවධානය යොමු වී ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි වෙනම විමර්ශනයක් සඳහා ආචාර්ය බී.එම්.එස්. බටගොඩගේ ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක් පත් කර ඇති බවත් වාර්තා වෙයි.

HNDA ගණකාධිකාරී ඩිප්ලෝමා සිසු සිසුවියන්ට පහර දීම සම්බන්ධයෙන් පොලිසිය භාර තිලක් මාරපන අමාත්‍යවරයා හෙට අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවත් මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙයි.