ශ්‍රී ලාංකික අනාථයන්ට ඉන්දියාවේ පුරවැසිභාවය?

Image caption 'ශ්‍රී ලාංකික අනාථයන් සම්බන්ධ ඉන්දියාවේ ප්‍රතිපත්තිය වෙනස් වෙමින් පවතිනවා'

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික අනාථයන්ට ඉතා ඉක්මනින්ම ඉන්දීය පුරවැසිභාවය ලබාගැනීමට හැකි වනු ඇතැයි ඉන්දියාවේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක එම්කේ නාරායනන් බලාපොරොත්තු පළ කළේය.

එම්කේ නාරායනන් ඒ බව කියා සිටියේ, මහජන ප්‍රතිපත්ති සහ දේශපාලනය පිළිබඳ හින්දු මධ්‍යස්ථානය විසින් තමිල්නාඩුවේ චෙන්නායි අගනුවර සංවිධානය කර තිබුණු සම්මන්ත්‍රණයක් අමතමින්.

ශ්‍රී ලාංකික අනාථයන් සම්බන්ධ ඉන්දියාවේ ප්‍රතිපත්තිය වෙනස් වෙමින් පවතින බැවින් ඔවුන්ට ඉතා ඉක්මනින්ම ඉන්දීය පුරවැසිභාවය ලැබෙනු ඇතැයි යන්න එම්කේ නාරායනන් ගේ බලාපොරොත්තුවයි.

පහරදීමක්

Image caption අසූ දහසකට අධික ශ්‍රී ලාංකික අනාථයන් පිරිසක් තමිල්නාඩුවේ රැකවරණ ලබා සිටිති

ශ්‍රී ලංකාවේ පැවති යුද ගැටුම් හේතුවෙන් අසූ දහසකට අධික ශ්‍රී ලාංකික අනාථයන් පිරිසක් තමිල්නාඩුවේ රැකවරණ ලබා සිටින බව චෙන්නායි නුවර සිටින බීබීසී දෙමළ සේවයේ වාර්තාකරු මුරලිදරන් කාසිවිස්වනාදන් බීබීසී සංදේශයට පැවසීය.

බදාදා සම්මන්ත්‍රණය අවසානයේ ප්‍රභාකරන් නැමැත්තෙකු සම්මන්ත්‍රණය අවසානයේ එම්කේ නාරායනන්ට පහරදුන් බවත් බීබීසී වාර්තාකරු පවසයි.

තමන් කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයකු නොවන බව පවසන ප්‍රහාරකයා, ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය පිළිබඳව ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි ට වැරදි තොරතුරු ලබාදීම නිසා එම්කේ නාරායනන් ට පහර දුන් බව පවසා තිබේ.