පොලිසියට තවත් දඩයක්

Image copyright Getty

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් අඩංගු බැනරයක් ප්‍රදර්ශනය කිරීම යටතේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු අත් අඩංගුවට ගැනීමෙන් පොලිසිය ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

ඒ අනුව අත්අඩංගුවට පත්වූ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික ඩෙන්සිල් ගුණසේකරට රුපියල් විසිදහසක වන්දියක් ගෙවන මෙන් අධිකරණය අද රජයට නියම කරනු ලැබීය.

පෙත්සම් කරු පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විවේචනය කෙරෙන අදහස් අඩංගු බැනරයක් 2009 වසරේ පැවති දකුණු පළාත් සභා මැතිවරණය සමයේ තංගල්ලේ පිහිටි සිය නිවස ඉදිරිපිට ප්‍රදර්ශනය කළ බවයි.

නොබෝ වෙලාවකින් සිය නිවසට කඩා වැදුණු සන්නද්ධ පොලිස් කණ්ඩායමක් එම බැනරය කපා දමා තමන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි පෙත්සම්කරු වැඩි දුරටත් කියා සිටියේ.

රාජපක්ෂ ජනාධිපතිවරයා හෝ ඔහුගේ රජය විවේචනය කෙරෙන අදහස් පළ කළ නොහැකි බවට එහිදී පොලිසිය තමන්ට තර්ජනය කළ බවද පෙත්සම් කරු අධිකරණය හමුවේ පවසා තිබේ.

පොලිසියේ මෙම ක්‍රියාකලාපය තුලින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට පොලිස්පති සහ තංගල්ල පොලිසියේ ස්ථානාධිපති වගකිව යුතු බවයි කියා සිටියේ.

මෙම තීන්දුව වත්මන් රජයද ආදර්ශයට ගෙන කටයුතු කල යුතු බවයි තීන්දුව සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති පවසන්නේ.