රත්නපුර වතු කම්කරුවෝ මහ පාරේ

Image copyright b
Image caption මහපාරේ වාඩි වී විරෝධය පළ කරන කම්කරුවන්

දීපාවලී උත්සවය සැමරීම සඳහා තමන්ට පොරොන්දු වූ පරිදි වැටුප් සහ උත්සව අත්තිකාරම් නොදීම සම්බන්ධයෙන් අගලවත්ත වැවිලි සමාගමට අයත් වතු ගණනාවක සේවකයෝ රත්නපුර කලවාන ප්‍රධාන මාර්ගය හරස් කරමින් පැය ගණනාවක විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

නිවිතිගල සහ දෑල අතර පිහිටි කිරිබත්ගල රබර් කර්මාන්ත ශාලාව ඉදිරිපිටට රැස් වූ කම්කරුවෝ තමන්ගේ දීපාවලි උත්සව අත්තිකාරම් හා වැටුප් වහාම ලබා දෙන ලෙසයි බල කර සිටියේ.

එම විරෝධතා ව්‍යාපාරයට කිරිබත්ගල, දෑල, දොඹගම්මන, දොඹගම, ආදී ප්‍රදේශවල පිහිටා ඇති රබර් සහ තේ වතුවල සිංහල සහ දමිළ කම්කරුවන් දහසකට අධික පිරිසක් එක්ව සිටියහ.

කම්කරුවෝ කලු කොඩි ඔසවා කර්මාන්ත ශාලාවට යන මාර්ගයේ ටයර් පුලුස්සනු ලැබීමෙන් අනතුරුව ප්‍රධාන මාර්ගයට පැමිණ පාරේ වාඩි වී විරෝධතා ව්‍යාපාරයක යෙදුනහ.

වසරකට වරක් එලඹෙන මෙම දීපවාලි උත්සවය දමිළ ජාතික තමන්ට වැදගත් උත්සවයක් වන බවයි වතු කම්කරුවන් කියා සිටියේ.

වසරකට එක දීපාවලියයි

එම උළෙල සැමරීමට නොහැකි විම ගැන වතු කම්කරු කාන්තාවක් වූ එස්.අම්මාවල්ලි තම තත්වය මෙසේ පැහැදිළි කළාය.

Image copyright b
Image caption මහමග ටයර් පුළුස්සමින්

‘දීපාවලී එන්නේ අවුරුද්දට එක සැරයයි. ගෙදර අයට අලුත් ඇඳුමක් ගන්න, කෑම වර්ග වගේ දේවල් හදන්න අපිට සල්ලි ඕනෑ. අපි වත්තේ වැඩ විතරයි කරන්නෙ. පඩි හරි ඇඩ්වාන්ස් හරි දුන්නොත් විතරයි ඒවා කරන්න පුළුවන් වෙන්නේ’

දීපාවලී උත්සවයට පෙර තමන්ට උත්සව අත්තිකාරම් සහ වැටුප් ගෙවන බවට වතු සමාගම පොරොන්දු වු බවයි උද්ඝෝෂණයට එක් ව සිටි කිරිබත්ගල වත්තේ කේ.නඩරාජ් පවසන්නේ.

‘දීපාවලී ඇඩ්වාන්ස් ඊයේ දෙනවා කියලා පොරොන්දු වුනා. ඊයේ හය වෙනකනුත් අපි බලාගෙන හිටියා දුන්නේ නෑ. ගිය මාසේ පඩිය දුන්නෙත් එකොළොස් වෙනිදා’ නඩරාජ් සිය බලාපොරොත්තු සුං වූ තත්වය විස්තර කළේ එවැනි වචන වලිනි.

වාර්ගික භේදයෙන් තොරව

දීපාවලි දීමනා වෙනුවෙන් දියත් කෙරුණ උද්ඝෝෂණයට සිංහල කම්කරුවෝත් එක්ව සිටියහ.

අයිතිවාසිකම් සඳහා කරන අරගලයේ දී ජාති භේදයෙන් තොරව මෙසේ එකතු වනවා හැර වෙනත් විකල්පයක් නැති බවයි, කිරිබත්ගල වත්තේ කම්කරුවෙකු වූ සුනිල් හෙට්ටිආරච්චි පෙන්වා දුන්නේ.

‘දීපාවලි තියෙන්නේ දහ වෙනිදා. තවම පඩි ගෙව්වේ නැහැ. නම වෙනිදා හවස පඩි දීලා වැඩක් නෑ. අදවත් පඩි දෙන්න කියලයි අපි ඉල්ලන්නේ’ සුනිල් හෙට්ටිආරච්චි කියා සිටියි.

මාස දෙක තුනක් තිස්සේ නියමිත දවසට පඩි නොගෙවන බව කියා සිටින සුනිල් හෙට්ටිආරච්චි ‘හය වෙනිදා උත්සව අත්තිකාරම් එක්ක වැටුප් ගෙවන බවට පාලකයන් පොරොන්දු වුනත් එය ඉටු නොවූ' බවයි පැහැදිලි කළේ.

වැවිලි සමාගම වෘත්තීය සමිති සමග අතිකරගත් ගිවිසුම් කඩකර කෝටි ගණනක් වංචා කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් ගාමිණි ප්‍රේමදාස පවසයි.

බලාපොරොත්තු කඩවීම

‘අගලවත්ත වැවිලි සමාගම කාලයක් තිස්සේ මේ මිනිස්සුන්ට කරදර කරනවා. වෙලාවට පඩි, පාරිතෝෂික දීමනා දෙන්නේ නෑ. සේවක අර්ථ සාධක අරමුදල් තව කෝටි තිහකට ආසන්න ප්‍රමාණයක් ගෙවන්න තියනවා. වෘත්තීය සමිතිවලට කපා ගත්ත සාමාජික මුදල් යවන්නේ නැතුව තියා ගෙන ඉන්නවා’ ගාමිණි ප්‍රේමදාස සඳහන් කරයි.

දීපාවලී උත්සවය සමරන කම්කරුවන්ගේ බලාපොරොත්තු කඩවීම නිසා ඔවුන් අතර දැඩි පීඩනයක් ඇති වී තිබෙන බව ගාමිණි ප්‍රේමදාස තහවුරු කරයි.

‘මෙයින් දවස් කීපයකට පෙර සියලු වෘත්තීය සමිති එක්ක ගිවිසුමකට එළඹුණා-උත්සව අත්තිකිරම් සහ පඩි සිකුරාදාට ගෙවන්න. නමුත් ගෙව්වෙ නෑ. සම්පූර්ණ බොරුවක් කරන්නේ’ ගාමිණි ප්‍රේමදාස වතු පාලකයන්ට දෝෂාරෝපණය කරයි.

විරෝධතා ව්‍යාපාරය පැය ගණනාවක් තිස්සේ පැවත්වෙද්දී ඒ අසල පිහිටා තිබූ කිරිබත්ගල රබර් කර්මාන්ත ශාලාවේ ගේට්ටු කිසිවෙකුට ඇතුල් විය නොහැකි පරිදි අගුල් දමා වසා දමනු ලැබ තිබුණි.