වෙනසක් සඳහා සෝභිත හිමියන්ගේ දායකත්වය 'අති විශිෂ්ඨයි'

Image caption සෝභිත හිමියන්ට පිදිය හැකි හොඳම ප්‍රණාමය එහිමියන් ප්‍රාර්ථනා කළ සමාජය බිහිකිරීම - ජනපති

සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ට දෙස් විදෙස් ප්‍රණාමය පලවෙමින් තිබේ.

73 හැවිරිදි වියේ දී අපවත් වූ සෝභිත හිමියන්ට පිදිය හැකි හොඳම ප්‍රණාමය එහිමියන් ප්‍රාර්ථනා කළ සමාජය බිහිකිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ට්විටර් පණිවුඩයකින් ඒ බව සඳහන් කරන ජනාධිපතිවරයා, ශ්‍රී ලංකාවේ පැවති 'අහිතකර දේශපාලන ප්‍රවාහයන්' නිවැරදි මඟට යොමු කිරීම සඳහා සෝභිත හිමියන් තුල පැවති අධිෂ්ඨානය රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියට තීරණාත්මක මඟපෙන්වීමක් වූ බව ශෝක පණිවුඩයක සඳහන් කරයි.

ශ්‍රී ලංකාව නව මඟකට යොමු කළ ප්‍රධාන පෙළේ ආගමික සහ ජනතා නායකයකු ලෙසිනුයි විපක්‍ෂනායක ආර් සම්බන්ධන් බීබීසීය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මාදුළුවාවේ සෝභිත හිමියන් හඳුන්වා දුන්නේ.

'ඒකාධිපති පාලනයට එරෙහිව'

"උන්වහන්සේ විශේෂයෙන්ම ජනතාවගේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටියා; රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කළා; රටේ පැවති ඒකාධිපති පාලනයට එරෙහිව සටන් කළා," විපක්‍ෂනායකවරයා පැවසීය.

Image caption 'උන්වහන්සේ විශේෂයෙන්ම ජනතාවගේ අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටියා. රටේ පැවති ඒකාධිපති පාලනයට එරෙහිව සටන් කළා'

විශේෂයෙන්ම ස්වාධීන කොමිෂන් පිහිටුවා එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට මාදුළුවාවේ සෝභිත හිමියන් ලබාදුන් දායකත්වය විපක්ෂනායකවරයා දැඩි අගය කිරීමට ලක් කළේ බීබීසී දෙමළ සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

"රටේ වෙනසක් සිදු කිරීම සඳහා ඔහු ලබා දුන් දායකත්වය අති විශිෂ්ඨයි," ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා පැවසීය.

සෝභිත හිමියන්ගේ දේශය රැගත් ගුවන් යානය සිංගප්පූරුවෙන් පිටත්වීමට පෙර බීබීසී සංදේශය සමඟ අදහස් දැක්වූ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සිංගප්පූරුවට ගොස් සිටි මුදල් අමාත්‍ය රවි කරුණානායක, එහිමියන් පැතූ සමාජය බිහි කිරීම රජයේ අපේක්ෂාව බව සඳහන් කළේය.

Image caption එහිමියන්ගේ අපේක්ෂා සියයට සියයක් ඉටු කිරීම අපේ බලාපොරොත්තුව - අමාත්‍ය රවි කරුණානායක

සෝභිත හිමියන්ගේ අභාවය පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාවට සහ ශ්‍රී ලංකා රජයට ශෝකය පළ කරන කොළඹ සිටින ඇමෙරිකානු තානාපති අතුල් කෙෂප්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පෝෂණය කර ආරක්ෂා කිරීම වස් එහිමියන් ගත් ප්‍රයත්නය අගය කර තිබේ.

සියලු ආගම් අදහන ජනතාවට ගෞරව කිරීම සඳහා සමාජය මෙහෙයවීමට මෙන්ම ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත දියුණු කිරීමට එහිමියන් උත්සාහ ගත් බවයි තානාපතිවරයා සිය නිවේදනයේ සඳහන් කරන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර