ශ්‍රී ලංකාව 'ලොවට ගෙන යන කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල'

Image copyright iffcolombo.com
Image caption නොවැම්බර් 06 වනදා ආරම්භ වූ චිත්‍රපට උලෙළේ අවසාන දිනය අදයි.

'කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ' සඳහා බලාපොරොත්තු වූවාටත් වඩා රසික ප්‍රතිචාර ලැබුණු බව එම උළෙලේ අධ්‍යක්ෂක සිනමාවේදී අසෝක හඳගම පවසයි.

ශ්‍රී ලංකා සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් දෙවන වරටත් පැවැත්වෙන 'කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළේ' තිරගත වන චිත්‍රපට නැරඹීම සඳහා සිනමා හල් වෙත රසිකයින් විශාල වශයෙන් පැමිණි බව ඔහු කියා සිටියේ බීබීසී සංදේශය හා සාකච්ඡාවකට එක් වෙමින්.

නොවැම්බර් 06 වනදා ආරම්භ වූ 'ඔබ ඇවිත් පිරෙන්න' චිත්‍රපට උලෙළේ අවසාන දිනය අදයි.

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල සඳහා දෙස් විදෙස් චිත්‍රපට විශාල සංඛ්‍යාවක් ඉදිරිපත් කොට තිබූ අතර සිනමාව හා සම්බන්ධ වැඩමුළු රාශියක්ද ඊට සමගාමීව පැවැත්විණ.

කෑන් සිනමා උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගත් 'දීපන්', බර්ලින් උළෙලේ සම්මාන ලත් ජෆාරි පනායි අධ්‍යක්ෂණය කළ 'ටැක්සි' ඇතුළු සම්මානයට පාත්‍ර වූ දෙස් විදෙස් චිත්‍රපට රාශියක් නැරඹීමට කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ හරහා ශ්‍රී ලාංකික රසිකයන්ට අවස්ථාව හිමි විය.

'වාහකයක්'

ජාත්‍යන්තර සිනමා උළෙලක් යනු චිත්‍රපට පෙන්වීමටම පමණක් සීමා වූවක් නොවන බව පෙන්වාදෙන සිනමාවේදී අසෝක හඳගම, ලෝ ප්‍රකට ප්‍රවීණයන් රැසකගේ ප්‍රධානත්වයෙන් නාට්‍ය රචනය, සිනමා අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය, වේශ නිරූපනය යන විෂයන් සම්බන්ධයෙන් වැඩමුළු පැවැත්වීම උදාහරණ ලෙසින් දක්වයි.

''සිනමාව පිළිබඳ අනන්‍යතාවය, තමන්ගේ රටේ අනන්‍යතාවය ලෝකයට හඳුන්වා දෙන්න, ලෝකයට ගෙන යන්න මේ ජාත්‍යන්තර උළෙල වාහකයක් කර ගන්න පුළුවන්. සිනමා උළෙලක් පැවැත්වීම හරහා සිනමාවට සම්බන්ධ හා සම්බන්ධ නැති, සිනමාව හා බැඳුනු සහ නොබැඳුනු තවත් බොහෝ ක්ෂේත්‍ර වලට එහි ප්‍රතිලාභ ලැබෙනවා.''

සිනමා ක්ෂේත්‍රයට අමතරව නගරයක් මුල් කර ගනිමින් මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ සිනමා උළෙලක් පැවැත්වීම හරහා එම නගරයට විශාල ප්‍රචාරයක් ලැබෙන බව පවසන සිනමාවේදී අසෝක හඳගම එම තත්වය රටට ආර්ථික වශයෙන් වැදගත් බවයි පෙන්වා දෙන්නේ.

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල පැවැත්වෙන්නේ ජපානයේ ඔකිනාවා චිත‍්‍රපටි උළෙලේ සම අනුග‍්‍රාහකත්වයෙන්.