එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් මන්නාරමට

Image copyright Getty
Image caption අතුරුදහන් වූ පිරිස් දැනට ජීවතුන් අතර සිටින බවට යම් විශ්වාසයක් ඇතැයිද යන ප්‍රශ්නයත් එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගෙන් විමසා තිබේ

බලහත්කාරයෙන් සිදු කරනු ලැබූ අතුරුදහන් කර වීම් පිළිබඳ සොයා බලන එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුවේ නියෝජිත පිරිස මන්නාරම හා ඒ අවට අතුරුදහන් වූවන්ගේ ඥාතීන් හමු වී තිබේ.

සාමාජිකයන් පස් දෙනකුගෙන් සමන්විත නියෝජිත පිරිස අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ට අමතරව එම ප්‍රදේශයේ සිවිල් සංවිධාන නියෝජිතයින් සහ ආගමික නායකයින්ද හමු වූහ.

මන්නාරමේ තිරුකේතීස්වරන් ප්‍රදේශයේ පිහිටි සමූහ මිනීවල පිළිබඳවත් මෙම නියෝජිත පිරිස තොරතුරු විමසා ඇතත් මාධ්‍යවේදීන්ට නියෝජිත පිරිසේ කටයුතු කිසිවක් වාර්තා කිරීමට අවස්ථාව සලසා දී නොමැත.

මාධ්‍යවේදීන් ඡායාරූප ගැනීමට තැත් කළ අවස්ථාවේ එය වළක්වාලීමටත් නියෝජිත පිරිස ක්‍රියා කොට තිබේ.

Image caption තිරුකේතීස්වරම් සමූහ මිනී වලේ තිබී හමු වූ මිනිස් ඇටසැකිල්ලක්

නියෝජිතයින් පිරිස මන්නාරමට ළගා වන අවස්ථාවේදී යුද සමයේදී සිය ඥාතීන් අහිමි වූ පිරිස් විසින් නියෝජිතයින් පැමිණෙන ස්ථානයට නුදුරින් උද්ඝෝෂණයක් පවත්වා ඇති අතර නියෝජිත පිරිස එම ස්ථානයට ළගා වී ඇත්තේ එම උද්ඝෝෂණය අවසන් වීමෙන් පසුවයි.

එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස, මන්නාරමේ ප්‍රජා ශාලාවකදී අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් සමග පැය එකහමාරක් පමණ තොරතුරු හුවමාරු කර ගත් අතර ආගමික නායකයින් විසින් එම ඔඉරිසට ලිපි කිහිපයක් භාර දී තිබේ.

ජීවතුන් අතර?

නියෝජිතයින් සමග කතා කළ අතුරුදහන් වූවන්ගේ ඥාතීන් කීහිප දෙනෙකු එහිදී කියා සිටියේ එම ඥාතීන් අතුරුදහන් වූ ආකාරය පිළිබදවත්,ඊට සහසම්බන්ධ පුද්ගලයින් ලෙස සැක කරන්නේ කවුරුන්දැයි යන කාරණයත් ඒ සඳහා ඇති සාක්ෂි මොනවාදැයි යන්නත් තමන්ගෙන් විමසූ බවයි.

අතුරුදහන් වූ පිරිස් දැනට ජීවතුන් අතර සිටින බවට යම් විශ්වාසයක් ඇතැයිද යන ප්‍රශ්නයත් එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගෙන් විමසා තිබේ.

එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස හමුවේ කරුණු ඉදිරිපත් කළ අතුරුදහන් වූවන් පිළිබදව තොරතුරු සොයා බලන කමිටුවේ සෙබමාලෙයි පියතුමා කියා සිටියේ අවසන් යුද සමයේදී හමුදාව වෙත සාක්ෂි සහිතව භාර දුන් පුද්ගලයන් අතුරුදන් වීම පිළිබදව තමන් එම නියෝජිතයින්ට දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළ බවයි.

Image caption එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස හමුවේ කරුණු ඉදිරිපත් කළ අතුරුදහන් වූවන් පිළිබදව තොරතුරු සොයා බලන කමිටුවේ සෙබමාලෙයි පියතුමා කියා සිටියේ අවසන් යුද සමයේදී හමුදාව වෙත සාක්ෂි සහිතව භාර දුන් පුද්ගලයන් අතුරුදන් වීම පිළිබදව තමන් එම නියෝජිතයින්ට දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළ බවයි

ඔවුන් අතුරුදහන් වූවා නොව බලහත්කාරයෙන් කිසියම් පිරිසක් ඔවුන්ව අතුරුදන් කොට ඇති බවට පැහැදිලි සාක්ෂි ඇති බවත්,ඊට වගකිව යුත්තේ අත්සන් සහිතව එම පුද්ගලයන් භාර ගත් යුද හමුදාව බවත් තමන් එක්සත් ජාතීන්ගේ නියෝජිතයින්ට ලිඛිතව සහ වාචිකව ඉදිරිපත් කළ බවත් සෙබමාලේ පියතුමා කියා සිටියහ.

'සාධාරණ නෑ'

අතුරුදහන් වූවන් පිළිබදව රජය විසින් ඉදිරිපත් කරනු ලබන සංඛ්‍යා ලේඛන කිසිසේත්ම පිළිගත නොහැකි බව එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසට දැනුම් දී ඇති සෙබමාලේ පියතුමා රජයේ සංඛ්‍යා ලේඛණවල ඇති අතුරුදහන් පුද්ගලයින්ගේ සංඛ්‍යාව වන 4700 ක ප්‍රමාණය කවරෙකුවත් පිළි නොගන්නා බවද පවසා ඇත.

අතුරුදහන් වූවන් පිළිබදව කරුණු සොයා බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කරන ලද විශේෂ කමිටුව වෙත පමණක් පැමිණිලි 19000 ක් පමණ ලැබී ඇති වටපිටාවක අතුරුදන් වූවන්ගේ ඥාතීන් 4000 කට අඩු ප්‍රමාණයකින් තොරතුරු ලබාගෙන වාර්තාවක් පිළියෙල කිරීම කිසිසේත් සාධාරණ නොවන වගද සෙබමාලේ පියතුමා එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් හමුවේ පවසා තිබේ.

මෙම නියෝජිතයින් පිරිස කිලිනොච්චිය සහ යාපනය පළාත්වලද සංචාරය කොට අතුරුදහන් වූවන් පිළිබදව තවදුරටත් තොරතුරු සොයා බැලීමට නියමිතයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර